Translate

Sunday, July 31, 2016

සුනිල්ගේ පාපොච්චාරණය...

සුනිල්ගේ පාපොච්චාරණය...
( a horror story)
මේක මාරම කතාවක් අයිසේ... තමුසෙ විස්වාස කරන් නැති වෙයි..ඒත් අහ ගන්නවකෝ..එදා මහ හයියෙන් වැස්ස.. වෙලාව හවස හතට විතර ඇති..ඔෆිස් එකේ වැඩ ඉවර වෙලා ගෙදර යන්න ඉතිරි උනේ මමයි අජිතුයි විතරයි.. එක පාරටම අකුණු ගහලා පලාතම අඳුරු උනා..මේ හොඳට තිබ්බ කරන්ට් එක ඇහි පිය ගහන සැනින් ගියේ ට්‍රාන්ෆෝමරේට අකුණක් වැදිල කියලයි හිතුනේ..

"අඩෝ කිසිම දෙයක් පේන්නෙ නෑ පෝන් එකේ ටෝච් එක ගහපන්" අජිත් බෙරිහන් දෙනවා ඇහුනෙ යන්තමින්..ඒ තරමට සද්දෙන් වහිනවා..සාක්කුවට අත දාලා පෝන් එක ගත්තා.. හත් දෙයියනේ ඒ වෙලාවටම පෝන් එකෙත් බැට්‍රි ඩෙඩ්.. මං ඒක කිව්වා අජිත්ට.. මං හිතුවෙ අජිත්ට මගෙ කට හඬ ඇහෙන් නෑ කියලා.. මං ගියා අජිත් ලඟට..
"මනුස්සයෝ පෝන් එකේ බැට්‍රි නෑ..." මං කෑ ගහලා මහ හයියෙන් කියලා අජිත්ගෙ කරට අත දැම්මා.. මට තේරුනා නිකන් දියරයක් ගලාගෙන යනවා වගේ.. "ඇතුලට වතුර ලීක් වෙනවද.." නෑ වෙන්න බෑ තට්ටු පහේ බිල්ඩිමේ අපි ඉන්නේ තුන් වෙනි තට්ටුවේ.. "අජිත්...අජිත්..." මං අජිත්ට කතා කරා...
"මං මෙහේ.." අජිත්ගෙ කට හඬ ඇහුනේ පහතින්.. මූ හිටගෙන ඉද්දී කොහොමද කට හඬ පහලින් ඇහෙන්නේ.. වැස්සෙයි අකුණු වලයි සද්දෙ හින්ද වෙන්න ඇති.. එක පාරටම අජිත් මගෙ අත අල්ලගත්තා.. ඒ පාර නම් බය උනා.. මොකද ඒ අතෙන් ආව සීතල ජීවත් වෙලා ඉන්න මනුස්සයෙක්ගෙන් නම් වෙන්න බෑ කියල හිතුන හින්දා.. මං අත අතෑරගත්තා.. "මොකද බං.." මං එහෙම කියල අජිත්ගෙ ඔලුව අතගෑවා...
දෙයියෝ සාක්කි.. අජිත්ගෙ ඔලුව නෑ..වතුර පොම්පයක් වගේ බෙල්ල හරියෙන් ලේ එනවා මට ඝනකමෙන් තේරුනා..මට කෑ ගැහුනා.. මගෙ සද්දෙ මේ බිත්ති වල හැපිලා මටම ආපහු ඇහෙන්න ගද්දී කකුල් දෙක වෙවුලන්න ගත්තා.. මට දුවන්නයි ඕනි..ඒත්.....ක.. කකුල් මට ඕනි විදියට වැඩ කලේ නෑ..
මං පුලුවන් විදියට එතැන තිබ්බ මේසෙ අල්ලගෙන ඉඳ ගත්තා.. මෙච්චර ඝන වැස්සෙ මගෙ ඉහින් කනින් දාඩිය.. හතර අතෙන්ම එන්නෙ ලේ සුවඳක්.. බිම පුරාම අජිත්ගෙ ලේ ගලලා..
"මචන් මට අමාරුයි..." දෙවියනේ....ඒ ඇහුන කට හඬ අජිත්ගෙ..ඒ කොයන්නෙ අජිත් මැරිලා නෑ..
"අනේ බං උඹ මට විහිලු කරනවද..? අනේ ප්ලීස් ඇති බං.. දැන් මං හොඳටම බය වෙලා ඉන්නේ.. කොහෙද ඉන්නෙ කියපන්.. ප්ලීස් බං..ප්ලීස්..." මං හතර අතේ වැඳ වැඳ අඬාගෙන කිව්වා...
"මං මේ උඹ ලඟම ඉන්නේ බං.. මට අමාරුයි.." දොර පියන් එක පාර ඇරුනා.. "දඩාස්...දඩාස්..." හයියෙන් ඇරෙන වැහෙන සද්දෙත් එක්ක අජිත් ගැන ආවෙ තරහක්..මූ මාත් එක්ක විහිලු කරනවා..මෙච්චර බය කරන්නෙ මොකටද..මං හොඳටම බය වෙලා ඉන්නේ...
"යකෝ... මං තෝව මරනවා.." ආපු තරහටත් එක්කම ඔහොම කියලා නැගිට්ටෙ බරට අතට අහු උනා මොනවදෝ අරගෙනම..
අජිත් හිටගෙන හිටපු තැනට පයින් ගැහුවම දඩාස් ගාලා සද්දෙන් මේසයක් පෙරලගෙන වැටුනා.. මං හිතුවෙ අජිත් දිව්වා කියලා.. මූත්‍රා පිට වෙන්න ඔන්න මෙන්න වෙනකන් බය වෙලා හිටිය මට අජිත් ගැන වෛරයක් ඇති උනේ ඇත්තටම.. බුදු අම්මේ හිතට සහනයක් ආවෙ පිටවීමේ ලිෆ්ට් එක ලඟට ආවම..
බටන් එක ඔබලා ඇතුලට ගියා... ඔව් ඒක වැඩ කලා.. බල්බ් එකක්වත් දැල් නොවී හතර අතම කළුවර වෙලා තිබ්නත් එ.. ඒ වෙලාවේ ලිෆ්ට් එක වැ..වැඩ කලා.. මං ඇතුලට ගියා.. අයෙම පහත මාලයට යන්න සුවිච් එක එබුවා.. ලාවට හිනාවක් ආවෙ ලිෆ්ට් එක හෙමින් හෙමින් පහලට යන්න පටන් ගත්තාම... ඒත්.... ඒත් ඒ සතුට වැඩි වෙලාවක් නොතිබ්බේ ලිෆ්ට් එක විදුලි වේගෙකින් පහලට යන්න පටන් ගත්තම..
අතේ තිබ්බ එක අතෑරලා ලිෆ්ට් එකේ තිබ්බ හැම බටන් එකක්ම එබුවේ කෑ ගගහමයි.. එක පාරටම ලිෆ්ට් එක නැවතුනා.....
"ටීක්...ටීක්....ටීක්...." දොරේ කෙලවරක සුවිච් එකක් තැඹිලි පාටින් නිවි නිවි පත්තු උනා.. ඔව් මං ඒක එබුවා...
"අම්මෝ.." කියාගෙන මම ලිෆ්ට් එකේ බිත්තියට විසි වෙලා ඇදගෙන වැටුනේ එක පාරටම ඇස් වලට දරාගන්න බැරි සුදු පාට එලියක් ලිෆ්ට් එකේ පත්තු උන හින්දා..
විස්වාස කරන්න බෑ..එතකොටම අජිත් කතා කරා.. "මට අමාරුයි බං.."
එ..ඒ.. ඒ කතා කලේ ලිෆ්ට් එක ඇතුලෙන්මයි.. දෙයියන්ට ඔප්පු වෙච්චාවයි.. මං අජිත්ට ගහන්න අරන් ඇවිත් තියෙන්නේ අජිත්ගෙම ඔලුව.. ආයෙම දොරටු තට්ටු කර කරම කෑ ගැහුවා.. ඒ අස්සෙ අජිත් කෑ ගහනවා ඌව බේරගන්න කියලා.. ඒ කට හඬට මං ගොඩාක් බය උනා..ඒක..ඒක හරියට මරණාසන්න මිනිහෙකුගෙ අදෝනාවක්..
ඇඳන් හිටපු ඇඳුම් ඇඟට ඇලිලා..ඒ තරමට දාඩියේ කෑ ගහගෙම දොරට තට්ටු කරනවා.ජිත්ගෙ අදෝනාව ටිකෙන් ටික සැර වෙද්දි කලිසමේ මූත්‍රා පිට වෙන්නම බය උනා.. "කට වහපන්.." මම තිරිසනෙක් වගේ අජිත්ගෙ ඔලුව පාගගෙන පාගගෙන ගියා... අජිත් වේදනාවෙන් කෑ ගහද්දි ඇස් දෙක පියාගෙන කෑ ගැහුවා..
"දෙවියනේ...කවුරු හරි මාව බේර ගන්න.. බේරගනියෝ" කියලා කෑ ගැහුවා.. උගුරට ලේ රස දැනෙනනකන් කෑ ගැහුවා... අවසානෙට කොයි තරම් කෑ ගැහුවත් කට හඬක් පිට වුනේ නෑ.. හිටපු ගමන් ඔක්කොම සංසුන් උනා.. කිසිම සද්දයක් ආවෙ නෑ.. මං හෙමීට ඇස් ඇරලා බැලුවා..
"දෙයි හාමුදුරුවනේ අජිත්ගෙ ඔලුව ලිෆ්ට් එකේ බිමට ඇලිලා තිබුනා.. ඇස් දෙකේ බෝල එලියට පැනලා මූන විරූපි වෙලා තිබුනා.. බලන්න බයයි.. මම ඇස් දෙක පියාගෙනම බිම වාඩි උනා.. කලබල වෙලා තිබ්බ හිතට ඉතිපිසෝ ගාථාවෙ මුල් පද දෙකවත් මතක් උනේ නෑ..
කවුදෝ ඇවිත් මාව ඉහලට ඉස්සුවා...ඇස් දෙක අරිනකොටම ආපහු පහලට වැටිල මගෙ දණිස්ස පැන්නා.. ඒ වේදනාවෙන් බිම පෙරලෙද්දි ආපහු ලිෆ්ට් එක පහලට යන්න පටන් ගත්තෙ සාමාන්‍ය විදියට.. එච්චරයි අයිසෙ මට මතක... තමුසෙට විස්වාස නෑ නේද..? මාව කවුරුවත් විස්වාස කලේ නෑ ඕයි..ඔක්කොම කිව්වේ අජිත් මැරුවෙ මං කියලා..
"ඒයි බින්දුවයි තිස් පහ සුනිල්..කාත් එක්කද අයිසෙ කතා කරන්නේ..තනියම කතා කරන එකම තමුසෙගෙ රාජකාරිය වෙලා..මෙන්න මේ මහත්තලයත් එක්ක යන්න වෙනවා දැන් තමුසෙට.."
"නෑ සර් මං මේ මගෙ කතාව මේ පීටර් අයියට කිය කිය හිටියේ.."
"හා හා එනවා..
ඩොක්ටර් මේ මනුස්සයා දැන් ඔහෙලට බාරයි...අපෙ රාජකාරිය ඉවරයි..දැන් මේ පිස්සු මනුස්සයව හොඳ කරලා ආපහු මෙහෙටම බාර දෙන්නයි උසාවි නියෝගෙ තියෙන්නේ..දැන් අරන් යන්න පුලුවන්..."
නිමි.
{Written by Susantha Abeyvickrama}



No comments: