Translate

Monday, July 18, 2016

සිරිපාල


සිරිපාල සිය අලුත ගෙනා බිරිඳත් සමග චිත්‍රපටි රාත්‍රී දර්ශනය නැරඹීමට පැමිණියේ නිවැසියන්ගේ බල කිරීමටය...
"යන්කෝ අනේ මෙයාලා මෙච්චර කියන එකේ..." සිරිපාලගේ බිරිඳ වූ ලතාද දෑතෙහි එල්ලීගෙන ඇවටිලි කලාය...
"හ්ම්..යන්කෝ එහෙනම්...." රෑ අහසේ දිලෙන පහන් තරුවක් වැනි දෑස් දෙස බලා සිරිපාල සිය බිරිඳට කියා දෑවැද්දට හිමි වූ මෝටර් බයිසිකලයේම චිත්‍ර පටි ශාලාවට පැමිනියේය....
කොනකම සීට් දෙකක හිංද ගත් ඔවුහු චිත්‍රපටය ආරම්භ වන තුරු බලා සිටියහ..එක වැරම අන්ධකාර වුනු ශාලාව ක්ෂනයෙන්ම චිත්‍රපටයද විශාල තිරයෙහි දක්වන්නට විය....ශාලාවේ අඳුර රජයන විට ලතා සිරිපාලගේ බාහුවට බර වී මොන මොනවාදෝ කෙඳිරුවාය...එය හැඟුනා මෙන් සිරිපාලද ඇයගේ කරට උඩින් අත දමා ඇයව ලං කර ගත්තේ කුළුඳුල් ප්‍රේමාන්විත සිනමා දැකුමෙහි පහස විඳ ගැනීමටය.... වේලාව ගත වනවා පවා නොදැනිම ඔවුහු ඔවුන්ගේ ලෝක වල තනි වූවෝය.... සිනමා ශාලාව තුල විවේකයට විදුලි පහන් දල්වන විට ලතාගෙ මුවට සිරිපාලගේ මුව හා වෙමින් තිබින...
එක වැර සිදු වූ සිදු වීම නිසා ලතා ලැජ්ජාවෙන් පසෙකට වී බිම බලා ගත්තාය....
"ඉන්න මං මොනා හරි බොන්ට අරන් එන්නම්.....". සිරිපාලද ලැජ්ජාව වසා ගැනීමට මෙන් එතැනින් ඉවත් විය..... විනාඩි කිහිපයක් ගත විය... සිරිපාල නැවත ආවේ නැත....විවේක කාලය අහවර වී බැල් එක වැදී යලිත් අඳුරින් ඇතුල පිරී යද්දී ලතා කලබල විය... සිරිපාලට කුමක් සිදු උනාදැයි සෙවීමට යුහුසුලුව ඇය වට පිට බැලීය..... එහෙත් එන සිරිපාලයෙක් නැත...
ලතාට හැඬිනි....අඳුරේම කලබලයෙන් ශාලාවෙන් එලියට බට ඕ ආරක්ෂක නිලධාරීන්ගෙ හා සේවක පිරිසෙන් සිරිපාල ගැන විමසුවාය...කිසිදු හෝඩුවාවක් හෝ නොවීය... "මේ මනුස්සයා කොහෙ ගියාද..?" ලතාට ඉකි ගැසිනි.. එක වරම සීතල අතකින් ඇයගේ අත වෙලෙනු දැනුනි..ලතා බිය වී එදෙස බැලුවාය..
"අනේ ඔයා කොහෙද ගියේ..මං හොඳටම බය උනා..." ලතා සිරිපාලට හොඳටම දොස් නැගුවාය.. එහෙත් සිරිපාල කිසිත් නොකියාම ඇයව ඇදගෙන මෝටර් බයිසිකලය වෙත ඇදුනේය...
"ඇයි, ඉතුරු ටික බලන්නෙ නැද්ද...දැන් පටන් ගත්තනේ....අපරාදෙනේ..." ලතාගෙ වචන අල්පයකවත් ගණන් නොගෙන සිරිපාල ඇයව බයිසිකලයේ නංගාගෙන වේගයෙන් නිවෙස කරා අන් කරන්නට විය...
යන වේගය වැඩි වනවා මිසෙක අඩු වන්නේ නැත...ලතා බියටම සිරිපාල බදාගත්තාය.... සෙල්සියස් අංශක ගණන නොදන්නමුත් සිරිපාලගේ වතින් අසාමාන්‍ය සීතලක් දැනීම නිසා ලතා තව තවත් බියෙන් ගැහෙන්නට වූවාය...ඇය දැස් පියාගෙන සිදු වන්නේ කුමක්දැයි කල්පනා කලාය....
ඉතා කෙටි කාලයකින්ම නිවෙස කරා පැමිණි ඔවුහු එකිනෙකා හා මුහුණ බලා කතා කලේවත් නැත... නිශ්ෂබ්දවම නිවසේ දොර හැරි සිරිපාල කෙලින්ම කාමරයට පැමිණ සයනයෙහි වැතිර නිදන්නට වූවේය... සියයක් ප්‍රශ්න ඇසීමට ලතාගෙ සිතෙහි තිබුනත් සිරිපාලගේ ක්‍රියාකාරකම් වලට බියවී සිටි ඇය සිරිපාලගේ ලඟින්ම වැතිරුනේ පසු දිනයේ හෝ මේවා අසා දැන ගැනීමේ අටියෙනි...
සිතේ සැණසීමක් නොමැතිව නිදි ඇඳට වැටුනු ලතාට නින්ද යන විට රාත්‍රී දොලහද පසු වී තිබින..කෙසේ හෝ නොයෙකුත් කෑ ගැසීම් හා හැඬීම් ශබ්ද මධ්‍යයේ පිබිදුනු ඕ වහා කාමරයෙන් එලියට ආවාය....
පොලිස් නිළධාරීන්ගෙන් හා අවට මිනිසුන්ගෙන් පිරී තිබුන මිදුල දැක ඇය තවත් තිගැස්සුනාය...සිරිපාලගේ මව හා පියා තමා දෙස පුදුමයෙන් බලා සිටිනු දැක ගත හැකිවිය...තවත් සමහරුන් තමා දෙස බලා කම්මුලට අත තබා කියවන්නට වූවේය....
මිනිසුන් පිරී තිබුනු සාලයේ කොන දෙස ලතා පියමන් කරන්නට වූයේ එදෙසින් සිරිපාලගේ නැගණියන්ගේ හැඬන්නේ කුමකටදැයි දැනගැනීමටය...
ලා කහ පැහැති විදුලි බුබුලු දැල්වුන පහන් කනු අතර පෙට්ටියක සුදු වතින් සැරසීගෙන සිටියේ සිරිපාලය...ඇයට කෑ ගැසුනි...එකෙනෙහිම ඕ සිහිසුන්ව ඇද වැටුනාය....
ඇය කෙතරම් වේලා සිහිසුන්ව සිටියාදැයි ඇයට මතකයක් නැත...ඇය වැතිරී සිටි සයනය වට කොට පොලිස් නිළධාරීන් ප්‍රශ්න කරන්නට විය....
"ඔබ තුමිය නිවසට පැමිණියේ කීයටද...? කොහොමද..? සිරිපාලගේ බයික් එක ගෙදරට ආවේ කොහොමද...? " ඔවුන් එක වර ප්‍රශ්න වැලක්ම අසන්නට විය...
"තවම සිහිය ඇවිත් නැද්ද කොහෙද සර්....මැඩම්.....මැඩම් ඔයාට අපිව ඇහෙනවද...?" ලඟ සිටි පොලිස් නිළධාරිනිය කරුණාවෙන් කතා කරන්නට විය.... "මේ බලන්න මැඩම්.... අපිට සිරිපාලව හම්බ උනේ පාන්දර, ඒ ඔයාලා දෙන්නා ගියපු සිනමා ශාලාවේ පිරිමි වැසිකිලියේ ඉඳලා...ඒ වෙනකොටත් සිරිපාල මිය ගිහින්...ඒක ඇත්තටම අනතුරක්....ලෙස්සා ගිහින් ඇදවැටීමෙන් තමා සිරිපාල මිය ගිහින් තියෙන්නේ....ඒත් දැන් අපට තියෙන ප්‍රශ්නය මැඩම්, ඔයා ගෙදර ආවේ කීයටද..? සිරිපාල ගැන ඔයා එහෙදී හොයලා තියෙනවා..ඊට පස්සෙ මැඩම් ආවේ මොකේද..? සිරිපාලගේ බයික් එක අරන් ආවේ ඔයාද....?"
සිහිනයකින් මෙන් ඇසුනු විස්තර සියල්ල එක වර ගෝචර කර ගැනීමට, පිලිවෙලින් සකසා ගැනීමට අපොසහත් වූ ඕ නැවත සිහිසුන් වූවාය...නැවතත් ප්‍රශ්න කිරීම් නොකල පොලිස් නිළධාරින් එතැනින් ඉවත්ව යද්දී ලතාගෙ දෑස් තුලින් නොනැවතී කඳුළු ගලන්නට විය....

Written by Susantha