Translate

Tuesday, July 19, 2016

සිහිනයකි දෑස් ලඟ 12





••••••••••••••••••••••••••
සිහිනයකි දෑස් ලඟ
••••••••••••••••••••••••••

¥ - දොලොස්වන දිගහැරුම - ¥

රැකියාවක් සොයා ගැනීම දුෂ්කර නොවුනත් සොයන නිදහස හා පහසුව තිබෙනා රැකියාවක් සොයා ගැනීම අති දුෂ්කරය..හිත සතුටින් කල රැකියාව නැති වීම පිළිබඳව ඇත්තේද දැඩි දුකකි...රාජිත සමග එක්ව කුඩා ව්‍යාපාරයක් කිරීමට අදහස් කලද ඒ සඳහා මූල්‍ය දායකත්වය දීමට කෙනෙකු නැති විය..නිවෙස ඇපයට තබා බැංකු ණයක් ලබා ගැනීමට හැකි වුවත් ඒ මුදල ප්‍රමාණවත් නොවීම නිසා ඒ අදහස අතැර දැමීය...

"අපරාදෙ බං, උඹට රට යන්න තිබ්බේ.."

"පිස්සුද බං...උඹව දාලා යන්නෙ නෑ කොහෙවත්...."

"කොළඹවත් යන්ද...?"

"තේරුමක් නෑ බං.... එක දවසක දෙන පඩියකට දවස් 30ක් මැරිලා වැඩ කරල ඔච්චර ඈතක නාදුනන මිනිස්සු එක්ක කෝම ඉන්නද බං...."

"ඒකත් ඇත්ත තමයි බං...ඒත් බැරි වෙන එකක් නෑ හොඳ එකක් සෙට් කරගන්න...."

"හ්ම්ම් ඒකත් බලමු..."

රැකියා ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් කොළඹ පිහිටි ආයතනයක රාජකාරි කිරීමට ලැබුනේ උත්සහයේ ප්‍රතිඵලයක් වශයෙන් ය...කෙසේ වෙතත් නුහුරු නුපුරුදු පරිසරයට හුරු වීමට ඉතා වෙහෙසකර වෑයමක් ගැනීමට සිදු විය..රාජිත නම් ඉක්මනින්ම හුරි වූයේ පිටත මිනිසුන් හා කතා බහ කිරීමෙනි...තරූ කතා බහ කිරීම අවශ්‍යයෙන්ම සිදු කල යුතු නිසා පිටතට යෑම සීමිත විය...
අම්මා හා අක්කා දිනකට වරක් කතා බහ කර තතු විමසීම පුරුද්දක් කරගෙන සිටියේය... කාර්‍යාලයේ බොහෝ දෙනා මැදිවියේ වූ අතර ප්‍රිය මනාපශීලී කළමණාකාරවරයෙක් විය.... දිනය ගතවනවා නොදැනෙන්නේ කාර්‍යාලයේ බොහෝ විට වැඩ අධික බැව් නිසාමය....එහෙත් අවශ්‍ය නිදහස තිබිනි... කෙසේ වෙතත් ගමේදි වඩා නගරයේදී දුම් පානය නම් වැඩි විය... ඒ ගැන රාජිත බෙහෙවින්ම බැන වදින්නට විය...

"මොකක්ද බං ඔය හැටි ඕකම උරන්නේ...උඹට ප්‍රශ්නයක් තියෙනවා නම් කියපන්.."

"නෑ බං විශේෂයක් නෑ.." ගමේදි වඩා නගරයේදි දැනෙන තනිකම වැඩියෙන් දැනෙන්නට වීම එයට හේතුව විය...කෙසේ වෙතත් වැඩි දිනක් නොගොස්ම කාමරයට තවත් අමුත්තකු ලෙස ග්‍රාමයකින් පැමිණි තරුණයෙක් සම්බන්ධ විය...ඒ රාජිතගේ නැන්දෙකුගේ පුතෙක්‍ ය...

"අවුලක් නෑ..උඹේ තනිකම යයි..මූ හොඳට කියවනවා..."

"මතකයි මතකයි ඉස්කෝල නිවාඩුවකට සෙට් උනානේ.."

"අම්මේ මං හිතුවෙ අයියලට මාව මතකවත් නෑ කියලා..."

"මොකෝ බං අමතක උඹෙ නමත් මතකයි...පියල්නෙ..."

"ඔවු.." ඔහු ප්‍රියමනාප වූ නමුත් පැමිණි දින දෙක තුන තුල මදක් ලැජ්ජාශීලි ගතියක් පෙන්වීය..

"නිවාඩුවට පියලුත් යන් එහෙ.."

"මට නිවාඩු ලැබෙන් නැතිවෙයිනේ අයියේ...මං ආවා විතරනේ..."

"උඹට තනියම තමා මල්ලි ඉන්න වෙන්නේ..පසිඳුවයි මායි ගිහින් අම්මව බලලා එන්නම්...."

"කවදද අයියේ යන්නේ..."

"25නේ පඩි බං...පඩිත් අරන් එහෙමම යනවා.."
මාස එක හමාරකට පසු පළමු නිවාඩුව පැමිණෙන බව තරූටද දැන්වීය...

"සෝයිනේ...එද්දි මට මුනාද ගේන්නේ..."

"පරිප්පු වඩේ ටිකක් අරන් එන්නම්කෝ...."

"අනේ....හරි හොඳ නෑ...තවම ඒක මතකෙ තියාගෙන..."

"අම්මේ ඒක අමතක කරන්න පුලුවන්ද.."

"මැටි අයියා...."

"මේ දෙයක් කියන්න හිනා වෙන්න බැහැ ඔන්න..."

"ම්ම් කියන්නකෝ..."

"මං ඔයාට ආදරෙයි..."

"හිහ්...මාත් ආදලෙයි මහත්තයෝ...." රහසින් මෙන් කියූ වදන නහරක් නහරක් පාසා දැනුනි....

"මේ.....මහත්තයෝ..."

"ම්ම්ම්....."

"ඔයා මොනාද මේ මට කලේ..."

"මං.......? "

"ඔව්....." යන්තම් හැඬුම් ස්වරය පිරී හැඟුමකින් කියන්නට යන්නේ කුමක්දැයි ඇසීමට,

"මොනාද...?"

"යසට නිදාගත්ත මේ ඇස් වලට...කොහේදෝ ඉඳන් ඔයා ඇවිත්..රෑ පුරා කෙල්ලගේ නින්ද නැති කරලා දාලා...."

"අනේ..."

"යසට හිනාවෙලා හිටිය හිතට කොහේදෝ ඉඳලා ඔයා ඇවිත්...හිත කලබලයකින් පුරවලා දාලා..."

"අනේ මන්දා..ඔයාට වදයක් නම් මම යන්නම්....?"

"එපා...එතකොට මම කොහේ යන්නද..? ඔයාගෙ උණුහුම හොයාගෙන ඇවිත්..ඔය තුරුලෙ මියැදෙනවා ඇරෙන්න...මං වෙන මොනවා කරන්නද...?"

"කපටි කෙල්ල..."

"ඇයි...?"

"බලන්න ඕනි එන්න කියලනේ ඔය කිව්වේ...?"

"හිහ්......ඔයා ලඟට වෙලා, ඔයාගෙම වෙලා, ඔයාගෙ තුරුලට වෙලා, තප්පරයක් ඉන්න පුළුවන් නම්...."

"ඕන් ඕන් ඉතින් දැන් අඬන්න යන්නේ...මේ පාර නම් මාමණ්ඩි වෙඩි තිව්වත් එනවා බලන්න..."

"අනේ පව් පිරෙන කතා කියන්න එපා..එහෙම වෙන් නෑ...ඔයා හරි නෝටි වෙලා..නපුරු කතා කියනවා හ්ම්....."

"අනේ නෑ මගෙ පිස්සියේ...මං එනවා කෝම හරි..."

"ගෙදරින් පිටට තව එක අඩියක් තිබ්බේ නෑ...ඒ නිසා පර්මිෂන් ගත්තැකිවෙයි...."
තරූට මෙන්ම මටද විශාල වශයෙන් හමුවීමට කතා කිරීමට අවශ්‍යතාවය දැනී අවසන් ය... ඒ හැඟුම වචනයෙන් විස්තර කීරිමට නොහැක...එහෙත් සිතේ තබාගෙනද සිටිය නොහැක...

"ඒ කියන්නේ ආයෙම ගේමක් දාගන්න යන්නේ..."

"ගේම් කොහෙද බං....කෙල්ලත් ගොඩාක් ආසාවෙන් ඉන්නේ...පරෙස්සම් උනා නම් එච්චරනේ..."

"හරි බං...ඒත් මමත් එනවා මේ පාර..."

"පිස්සුද බං...එහෙම ඕනි නෑ..මොකුත් ප්‍රශ්නයක් ඇති නොවෙන්න මං බලාගන්නම්...."

"අන්තෝ ජටා බහි ජටා...ඒ අස්සෙ උඹලා ලව්....ඕනි එකක් කරගනිල්ලකෝ...."

"ආව් ආව්...කොල්ලට මල පැනලා..."

"අනේ මගෙ කට අවුස්සගන්නෙ නැතුව හිටපන්..."

"හිටින්කෝ...කෙල්ලට කියලා සෝයි කෙලිපොඩිත්තක් සෙට් කරලා දෙන්න.."

"ආන් පින් අතේ වැඩ ඇ..."

"අනේ අම්මේ කුකුළගේ පෙම් පාට..."
පැමිණ මාස එක හමාරකට පසු ලැබුනු පළමු නිවාඩුව ලබාගෙන රාජිතගේ නිවසට පැමිණියේ තරූව හමු වීමට සියළු කටයුතු සූදානම් කරගනිමින් ය....හෙට දිනයේ දී තරූගේ යහළුවකුගේ නිවසේ දී හමු වීමට සියලු කතිකාවත් හමාරකරගෙනය...

"ඒ බං උඹත් යමන්කෝ..."

"ඇයි උඹලට ලාම්පු අල්ලන්නද...? මං හෙට යනවා අම්මා එක්ක අවුකන.."

"ආහ් දානයක් තියෙනවා නේද.? ෂිට් අපරාදේ බං....මට අමතක උනානේ..නැත්තන් මේක කල් දාගන්න තිබුනා..."

"උඹට තියා මටත් අමතක උනා බං..ආවාම අම්මා කිව්වේ..අවුලක් නෑ ප්‍රශ්න දාගන් නැතුව උඹ උඹේ වැඩේ කරගනින්කෝ..."

"ඒ ටවුන් යමන්කෝ.."

"හිටහන් ඇඳුමක් දාගන්නකන්..." ඒ ඔහුගේ හැටිය..කොහේ කුමකට යන්නේ දැයි නොවිමසයි..ඒ මා පිළිබඳ ඇති විශ්වාසය නොවේද..? එක් කුස ඉපදුනේ නැතත්, ඔහු මට සහෝදරයෙක් විය..
කොළඹින් එන විට තරූට මතක සමරුවක් ලෙස කුඩා teddy bear ජෝඩුවක් ගත්තද, තවත් කුමක් හෝ ගත යුතුය යන්න සිතෙහි විය.. හෙට දානයට කුමක් හෝ පිරිකරක් ලබා ගෙන දීමටද උවමනාව විය..ඒ අනුව දෙදෙනාම නගරය කරා ඇදුනේ රාජිතගේ බයික් එකේමය...

"ඔන්න ඔය පිරිකර බඩු කඩේ ගාව නතර කරහන් බං..."

"ඕකට දැන්ම එන්න ඕනිද බං..හෙට ගත්තා නම් ඇතිනේ.."

"හෙට උදෙන්ම යන්න වෙනවා බං...කෙල්ල එන්න කලින් මට එහෙ ඉන්න වෙනවා..."

ඒ අනුව අටපිරක්ම පූජා කිරීම සඳහා මිලට ගෙන තරූටද දෙදෙනාගෙම නම් යෙදූ කුඩා මාලයක් ත්‍යාගයක් ලෙස ගෙන නිවෙස බලා යන්නට සැරසුනෙමු...

"ඒ ඒ මෙහෙට වරෙන්..." කඩ පේලිය අතර සැඟවී රාජිත බියෙන් මෙන් කතා කලේය...

"මොකද බං...."

"හෙමීට බලපන් අර කලු ඩිෆෙන්ඩර් එක අඳුරනවද කියලා...."

"කෝ....ආ ඔව් ඉතින්, ඒකට මොකද..?"

"ඕකෙ තමයි එදා උඹෙ මස්සිනා කාරයා ආවෙ සෙට් එකත් එක්ක..."

"ඉතින්, උඹට බයද.? හැංගෙන්නේ..."

"කෙහෙම්මල..උඹ වෙනුවෙන් පණ උනත් දෙනවා...ඒත් බං මුන් එක්ක පැටලුනොත් උඹලගෙ ලව් එකට තවත් ප්‍රශ්න එන එක විතරයි වෙන්නේ..."

"එහෙමයි කියලා හැමදාම හැංගිලා හිටියෑකිද බං...මෙහෙ වරෙන් යන්න..."

"ඒ අඩෝ එපා බං...පසිඳු...හිටපන් බං....". ඩිෆෙන්ඩරය දෙසට පැමිණියේ ඕනෑම දෙයකට මුහුණ දෙන බව සිතාගෙනය...එහෙත් පාර මාරු වීමට ප්‍රථම ඩිෆෙන්ඩරය ඉදිරියට ඇදුනෙන්, එතුල සිටියේ කවුරුන්දැයි හඳුනා ගැනීමට නොහැකි විය....

"අම්මේ ඇති යන්තන්..උඹට නම් පිස්සු බං....මෝඩයෙක් උඹ...හිතපන් දැක්කා නම් එහෙම.."

"මටත් අත් දෙකක් තියෙනවා බං..." සිනා සී රාජිත දෙස බලා කීවෙමි..

"අත් තිබිලා මොකටද බං.. ගල් කටස් එක්කින් එකයි තියන්නෙ.. එහෙම ජාතියන් උන්...." රාජිතගේ වදනෙහි බරපතලකම තේරුනේ දැන් ය...කෙසේ වෙතත් පූරුවේ වාසනාවකට මගෙ මෝඩකමේ ප්‍රතිපල අත් නොවින්දේය..

"මං නම් කියන්නේ උඹ හෙට නංගිව හම්බෙන්න යන්න එපා...මේක අසුභ පෙර නිමිත්තක්..."

"උඹ මොන කාලෙද ඉන්නේ බං...මේක 21වෙනි ශතවර්ෂෙ...මෙන්න මෙහෙ වරෙන් යන්න..."
අට පිරිකර රැගෙන විත් රාජිතගේ මවට දී හෙට දානයට සහභාගි වීමට නොහැකි වීම පිලිබඳව සමාව අයැද සිටියෙමි..

"හවස් උනාට කමක් නෑ පුතාගෙ වැඩේ ඉවර කරන් එන්න...බෝධි පූජාවටවත් ඉන්න බැරැයැ..."

"හරි අම්මේ මං එහෙම කරන්නම්.."

රාජිතගේ මවගෙන් සමුගෙන සයනය මත වැතිරුනේ හෙට ගමන ගැන සිහින මවමිනි... "කිසිම ප්‍රශ්නයක් වෙන්න නම් එපා දෙවියනේ.." හෙට යා යුතු වෙලාව විස්තර සියල්ල යලි තරූ හට කතා කර ලබා ගත්තේ කිසිදු හෝ අත්වැරද්දක් නොවීමටය....

"තව පොඩ්ඩක් හිතපන්.."

"මොනවද..?"

"ඔය යන ගමන ටිකක් ඩේන්ජර්..."

"දන්නවා බං...ඒ risk එකට මං ලෑස්තියි.. දැන් මං ගැන නෙමෙයි දානෙ ගැන හිතපන්..."

"ඒක නම් මොකක්ද බං..හැම අවුරුද්දෙම දෙනවානේ..උඹ හෙට ගිහින් පැයෙන් පැයට මැසේජ් එකක් දාපන්..නැත්තන් පැයෙන් පැයට මං කෝල් ගන්නවා.."

"හි හි හරි හරි බං...මං දාන්නම්... Data on කරන් ඉඳපන්.. Couple selfieයක්ම whatsapp එවන්නම්..."

🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞

පහන් හිරු නැගෙනහිරින් එබී බලද්දී සාමාන්‍ය ලෙස සැරසී රාජිතගෙන් සමුගෙන තරූගෙ යෙහෙලියගේ නිවසට පැමිණියෙමි....මුලින් දන්වා තිබීම නිසා ඉතා කුළුපග පිලිගැනීමක් විය...

"අයියා හරි handsomeනේ...කෝමත් තරුෂිගේ selection හැමදාම best...."

"අපි දෙන්නා ආදරේ කලේ දෙන්නට දෙන්නා දකින්නෙවත් නැතුව නංගි...හම්බ උනේ මාස තුනකට පස්සේ...එදා තිබ්බ ආදරේ දැක්කයි කියලා දෙන්නෙගෙම හිත් වල වෙනසක් වෙලා නෑ...වෙන්නෙත් නෑ..."

"තේරෙනවා අයියා කියන්න යන දේ..ලස්සන වෙන්න ඕනි හිත්...ඒත් ඔය දෙන්නා made for a each other.. ඉරිසියත් හිතෙනවා..."

"Is it...?"

"Yeh...."

"මට පේන්නේ නංගි හොඳ boot එකක් නම් කාලා තියෙනවා...."

"අපෝ නෑ...මට තාම අයියා වගේ පිස්සෙක් හම්බෙලා නෑනේ...."

"ආහ්...මං පිස්සෙක් කියලා කවුද කිව්වේ.?"

"අයියෝ...තරූ වචන දහයක් කිව්වොත් ඒකෙන් නමයක්ම කියන්නේ ඔයාගෙ වැඩ ගැන..."

"හුටා...එහෙනම් කට පියාගෙන ඉන්න ඕනි..මොන මොනවා කියලද දන් නෑනේ...අයියෝ මගෙ ගෑනිටත් කට පියාගෙන ඉන්න බෑනේ..."

"අයියෝ ඔහොම ඉන්න එපා...කවදාවත් වැරදි මොකුත් කියලා නෑ...ඔයාලගෙ ආදරේ ගැන මිසක්..."

"නංගි වතුර ටිකක් දෙනවද...? " ඇය සිනා සිසීම ගෙතුලට ඇදුනාය.. "මං මෙතන පොර ටෝක් දීලා කිච උනාවත්ද මන්දා..හිටපන්කො උඹව සෙට් කරනවා ඇත්තටම පිස්සෙක්ට.."

"ආ අයියේ....ආ අන්න තරූ එනවා... ඔයා උඩ floor එකට යන්න...මං එක්කන් එන්නම්...."

"Ok...පරෙස්සමින්.." තරූට ගෙනා ත්‍යාගද රැගෙනම ඒ දෙමහල් නිවසේ උඩ තට්ටුවට පැමිණිනු... මෙලෙස හොරෙන් මුණ ගැසීම වරදක් ය..එහෙත් දෙමාපියන් දෙදෙනාගෙ හැඟීම් වලට ඉඩ නොදෙයි නම් කුමක් කරන්නද...?


ඩක් ඩක් හඬින් හදවත ගැහෙයි...එලියෙන් ඇසෙනා කටහඬ තුනී වෙත්ම තරප්පු පෙලින් කිසිවකු හෝ උඩට එන සද්දය ඇසුනි...ඒ තරූ හැර අන් කිසිවකුගේ හෝ නොවේවා යැයි ප්‍රාර්ථනා කලෙමි...

"අයියා......අයියා පැටී..." ඒ හඬ තරූගේය...එම හඬ ඇසීමෙන් නව පණක් ලද්දාක් මෙන් කාමරයෙන් එලියට පැමිණියෙමි....

"ගොඩක් වෙලාද ඇවිත්..."

"නෑ ඇවිත් පැය භාගයක් විතර ඇති..."

"මොකෝ චන්ඩි පැංචා බය වෙලා..."

"හොර වැඩ කරද්දී බය වෙන්න වෙනවනේ..."

"අනේ......" තරූ දිව ඇවිදින් මා බදාගත්තාය...අනතුරුව සාලයේ දිගු සෝෆාව මත හිඳ ගත්තේ දෙඅත් අල්ලාගෙනමය...

"ගෙදරින් ප්‍රශ්නයක් උන් නෑ නේද බබා..."

"ම්ම්හ්...." ඇය මා අත් අත හැර පොඩි ළදරුවෙකු මෙන් උකුලට හිස තබා දිගු සෝෆාවේ කකුල් දිගු කර ඇලවෙමින් දෑස් පියාගත්තාය.... රන්වන් පැහැ ඔප ගැන්වුනු කම්මුල් මත කෙස් රැලි දඟ කරද්දී සෙමින් කෙස් රැළි සකස් කරමින් ඇයගේ හිස අත ගෑවේ ඉදිරිය කෙසේ වේ දැයි සිතමිනි....

"මොනාද කල්පනා කරන්නේ බබා..."

"මං කල්පනා කලේ මං ගැන..."

"ඔයා ගැන...."

"හ්ම්ම් ඔයා මගෙ ලගට එන්න කලින් මං ගැන.."

"ඉස්සර ඔයා බය ගුල්ලියක්....."

"ඔව් ඉස්සර මං ආස නැ අහස කලුපාට වෙනවට.. අහසේ කොච්චර පුංචි පුංචි තරු පායලා තිබ්බත් ඒ කළුවරට මං බයයි...ඒත් දැන් මේ අහසම කළුවර වෙලා තියෙනවා දකින්න ආසයි අයියා පැටී..."

"ඔය නොකිය කියන්නෙ මං ඔයාගෙ ලෝකේ...ඔයාගෙ අහසෙ හඳ කියලද..."

"හඳ පායන්නෙ ඉඳල හිටලනෙ...ඔයා මගෙ ලෝකේ ඉන්නේ ඊටත් වඩා තැනක...ඒ තැන වෙන කවුරුවත්ම නෑ..."

"ම්ම්ම් බඩ්ඩක් කියන්නද...?"

"කියන්නකෝ....."

"මට හිතෙනවා ඉස්සරට වඩා මගෙ කෙල්ල දැන් පැහිලා කියලා..."

"හි හි.... තවම ඉදිලා නැද්ද..?"

"අනේ මැට්ටි..."

"ඌයි..."

"රිදුනද..."

"ඔව් ඔව්...මේ බලන්නකෝ කම්මුල රතුත් වෙලාද කොහෙද.?..ඔන්න දැන් බේත් දෙන්න වෙයි...." කියමින් තරු බොරු වේදනාවක් මවාගනිමින් කම්මුල ඇල්ලූ තැන පෙන්වයි... ඒ මුහුණ දෝතට ම ගෙන ඒ රෝස කම්මුල් අතර මුදු ස්වරයෙන් ලවන් පෙති තබා උණුසුම් හාද්දක් තැබුවේ ඇයගේ ආයාචනය තේරුන් ගනිමින් ය.... ඇය දෑස් පෙති අඩවන් කරගනිමින් සිය දෑතින්ම වම් ඇකය බදාගෙන මා හට තුරුළු වූයේ පුංචි දැරියක විලසිනි... ඒ උණුසුම් වුනු හදවත් එකට වුනු මොහොතේ වෙව්ලන දෙතොල් එකිනෙක වෙලෙන්නට පටන් ගත්තේ දෑත් ග්‍රහණයද දැඩි කරමින් ය...

එය ආදරයේ සුන්දරතම තත්පර කිහිපයක් විය... කිසිදා නොදැනුනු නොහැඟුනු හැඟුම් රාශියකින් සිත කිති කවද්දී තව තවත් උණුසුමම සොයන වත දැඩි ග්‍රහණයෙකින් වෙලීගෙබ මොහොතකදී නතරව එම සුවය විඳ ගනිමින් නිසංසළව සිටියි... එය රාගය නොව දෙදෙනාගෙ හැඟුම් එකට කැටි වුනු හදවත් තවත් තදින් බැඳුනු ප්‍රේමණීය අවස්තාවක් විය....

"බබා....අපි වැරදි කරනවා..."

"මේක වැරැද්දක් නම්...මං මේ වැරද්ද තව තවත් කරනවා...."

"අනේ මගෙ පිස්සු කෙල්ල..."

"ඔයානේ මාව පිස්සියක් කලෙත්.."

"ඒ ඔයාගෙ පිස්සට ආදරේ ඕනි හින්දනේ.."

"මට මුකුත් එපා.....මෙහෙම තුරුලෙ ඉන්න දෙනවද...? අපි බැඳලා..., ඔයා වැඩ ඇරිලා ආව ගමන්.., මෙහෙම තුරුලු වෙලා හිත පුරා ඔයාගෙ සුවඳ විඳින්න දෙනවද මේ පිස්සිට... මෙහෙමම තුරුලෙ තියාගෙන, මුළු රෑ පුරාවටම, ඔය පපුව බදාගෙන දොයිය ගන්න ඉඩ දෙනවද, ජීවිතේ පුරාවට..."

"පොරොන්දු වෙනවා...මේ පපුවේ මේ පිස්සගෙ හුස්ම පොද තියෙනකන්, මගෙ රත්තරන්ව මේ වගේ ආදරයෙන් බලා ගන්නවා කියලා...මේ වගේ සදහටම මගෙ කෙල්ල ලඟ මේ විදියට ම ඉන්නවා කියලා..."

"සත්තයිද....."

"සත්තයි.......... ඔය ඉතින්...මගෙ කෙල්ල අඬනවද...?"

"මට බයයි අයියා පැටී... මට බෑ ඔයාගෙන් එක තප්පරයක්වත් ඈතින් ඉන්න... මට ඔයාව ඕනිමයි... නැත්තන් මේ කෙල්ල මැරෙයි..."

"ෂ්ෂ්ෂ්......මං ඉන්නවනේ මගෙ කෙල්ල එක්ක... මං පොරොන්දු උනානේ..."

"අනේ මාව එක්ක යන්නකෝ කොහෙ හරි...."

"හි හි එහෙම ඉක්මන් වෙලයි emotional වෙලයි තීරණ ගන්න හොඳ නෑ පැංචියෝ... හොඳින් හිතලා වැඩ කලොත් අපිට වරදින් නෑ..."

"මට වැරදුනොත් ඔයා ඉන්නවනේ...ඒ හිනද මට ඒවා වැඩක් නෑ...මට ඔයාව ඕනිමයි...එච්චරයි..."

"මුරණ්ඩු කෙල්ල..."
දැහැන් ගත වුනු ප්‍රේම හැඟුමට මද පවනින් ලද ආශිර්වාදය බිඳගෙන තරප්පු පෙල දිගේ තරූගෙ යෙහෙළිය පැමිණියෙන් තරූ සෝෆාවේ හිඳ ගත්තාය...මා දෑත සුරතට ගෙන කොණිත්තමින් ලැජ්ජාවෙන් මෙන් බිම බලා හුන් ඇයව බලා යෙහෙලිය සිනා සී ගෙනම තේ බන්දේසිය කුඩා මේසය උඩ තැබුවාය....

"කුරුළු ජෝඩුවට disturb කලාද මන්දා...? ආ මෙන්න වැඩක්... එක්කෙනෙක්ගෙ කට වැහිලා අද..."

"හි හි....නෑ ඔච්චර වෙලා කියවලා දැන් කට රිදෙනවා ඇති..."

"හරි හරි ඔය තේක බොන්නලාකෝ....මං යනවා පහලට..."

"පැංචි......"

"ම්ම්ම්ම්....."

"මොකද ගොළුවෙලා....."

"අර මැට්ටි ආවනේ...."

"ඒ තේ අරන්නේ....තේකක් බොමු...."

"ම්ම්ම් එකක් බොමු....ඔයා බීලා දෙන්නකෝ...." එවිටම වාගෙ දුරකථනයට ඇමතුමක් ආවේය..ඒ රාජිතගෙන් ය....

"කවුද අයියා පැටී....ගෙදරින්ද..?"

"නෑ ඊටත් ඉහලින්..ආ answer කරන්නකෝ...."

"අම්මියෝ බෑ...කවුද..?"

"වෙන කවුද ඉතින් රාජිත මේ ගන්නේ...මග දිගට කිව්වා ගිහින් පරෙස්සමින් පැයෙන් පැයා මැසේජ් දාන්න කියලා...ඌ බය වෙලා...පව්...."

"අනේ....කෝ දෙන්නකෝ..."

හෙලෝ...
ම්ම්....එයාගෙ වෙන්න වයිෆ් කතා කරන්නේ....
හී හී එයා මේ වෙලාවෙ ගොඩාක් පරෙස්සමට තේ බොනවා....
හරි අයියේ..අයියට පින් මගෙ පණව මෙහෙම බලාගන්නවට...
ම්ම්...බුදු සරණයි අයියේ...

"මොකද කියන්නේ...."

"ඔන්න පැයෙන් පැයට මැසේජ් යවන්නලු....හි හි...එයා හරි ෂෝක්.. ඔහොම යාලුවෝ හරි අඩුයි අයියා පැටී..."

"හ්ම්ම්...ඒක දන්නවා... ගිය ආත්මෙක සහෝදරයෙක්ද කොහෙද...?"

"එතකොට මං කවුද ගිය ආත්මෙ..."

"ඔයාද..? ඔයා මගෙ ආච්චි වෙන්නැති...."

"ඊ........යා.....ආච්චි උනා නම් පතන් එනවද මැට්ටො ආදරේ කරන්න..."

දිවියට කිසිදා අමතක නොවන මතක සමරු ශිලා ලේඛනයක සටහන් කලා මෙන් හදවත පතුලේම පරෙස්සමින් තබා අහේතුකවම ආ කඳුළින් නැවත හමු වෙමු යැයි කියා ඇයගෙන් වෙන්ව ආවේ සිත ඇය ලඟ තබාමය....
 
  •••••••••••••••••••••••••••••••••••••••
බලා රස විඳි සැමට තුති...යලිත් ඊළඟ
කොටසින් මුණ ගැසෙමු..
•••••••••••••••••••••••••••••••••••••••



No comments: