Translate

Saturday, July 16, 2016

පුතුගෙ ලියුම

ගොවිතැන දැනුත් සරුසාරයි හුරු අතට
හුනු විට මල්ල අහුරා සැරසුනෙ යන්ට
බැල් එක වැදී ඇහැ ගිය පියුමගෙ හඬට
පුතුගෙන් ලියමනකි කොළඹින් ලියු මෙමට

අකුරක් කියා ගන්නට හැකි සාත්තරේ
ආතා කියා දුන්නැන් දැන සූත්තරේ
ගලවා කවර බැලුවත් ලිපි පාත්තරේ
කියවා අදහ ගන්නට බැහැ කතන්දරේ

එන්නට නොහැක අම්මේ රැකියාව දමා
ගින්නට හිතේ දුක් කහටක් එයිද තෙමා
ගොවිතැන කරන් අවුවේ වැර විරිය දමා
අම්මේ තාත්තත් එක්කල එන්න දමා

දැම්මා හීං දාඩිය කන් දෙකම වසා
පුතුගේ ඇරයුමට අම්මත් එකයි අසා
ලිපියේ කෙරුනු විස්තර දැන ගනින් අසා
යමු අපි දෙන්නා පුතුගේ සැප එයම නිසා

නැගුනා එකම බසයට දෙන්නම ඇහිරූ
පුතුටැයි කියා අරගෙන බඩු මලු ඇතිරූ
හිටියත් ඉඳන් බසයේ මගියන් පැතිරූ
වාරුව අරන් හිටගමි බලමින් පිළිරූ

තැලෙමින් විසි වෙමින් පැද්දී මග දිගට
කොළඹට ආමි යුතුකම් ඉටු කර යන්ට
අරගෙන ආව බඩු පොදියත් ගෙන කරට
ඇදුනා මගට ලිපියෙහි ඇති තතු ලෙසට

එනකන් තාත්තේ අම්මත් එක්ක මෙහා
අපි ඉන්නවා මග බල බල පාර දිහා
තනිකඩ පුතුගෙ "අපි" ඇමතුමෙ කුකුස මහා
ඈතින් පෙනෙනවා සුදුවට රුවකි' එහා

වැන්දා දෙදෙන පොඩි බැම්මක එහා ඉඳන්
අල්ලා අතින් ගෙට ගත්තා ලේලි හොඳින්
පින්නා ගෙනා බඩු මුල පුතු අතට දෙමින්
බැලුවා බිරිඳ දෙස කඳුලකි නොනැගි ඇසෙන්

අම්මේ මෙයා මගෙ වැඩපොලෙ හොඳින් දැනන්
බැන්දා කසාදය තුන් මාසෙකට කලින්
අහිතක් ගන්නෙපා කීවට මෙලෙස දුකින්
අතිනත ගතිමි දුක සැප එක ලෙස දනිමින්

වැදු මව් හඬා සිප ගති පුතුගේ නළල
ලේලිය ගියා ගස්සාගෙන පුතු නොබල
ඇදුනා හෙමින් තිදෙනම ඇතුලට ගෙතුල
එය නම් මහා සුවිසල් මැදුරකි පතල

හොඳටම රිදෙන කොන්දට සුව පහස පතා
හිඳුවා ගෙතුල ඇති පුටුවක බිරිඳ ලතා
බැලුවා ඇයගෙ දෙස ඇයි මේ නොකර කතා
නැවතත් අදම යනවද ඇසුවේලු පුතා



No comments: