Translate

Monday, July 18, 2016

සිහිනයකි දෑස් ලඟ 08





••••••••••••••••••••••••••
සිහිනයකි දෑස් ලඟ
••••••••••••••••••••••••••

¥ - අටවන දිගහැරුම - ¥

තියුනු රක්ත වර්ණ දෑසින් යුතුව කෝපාවිෂ්ට උප පරීක්ෂක තෙම ඇසූ පැණය සැණින් වටහා ගත නොහැකි විය...

"කතා කරපන් මිනිහෝ...කෝ කෙල්ල..." හිසට පහරක් ගසමින් පිටුපස සිටි පොලිස් නිළධාරියා ඇසුවේය..කලින් ලද පහරේ වේදනාව අලුත් කරමින් වැදුනු එම පහරින් මුහුණ මේසයේ වැදී නහයෙන් ලේ ඒමට පටන් ගත්තේය..

"මො...මොන කෙල්ලද සර්..." දරා ගත නොහැකි වේදනාවන් හමුවේ මුවින් එම වචනය පිට වූයේ කෙසේද යන්න සිතා ගත නොහැකි විය...

"මේ වේ......... මෙහෙම ඇහුවට කියන් නෑ සර්..තව දෙකක් දීලම පටන් ගමු.."

"හ්ම්...., ඔලුවට ගහන් නැතුව බලාගන්නවා... විමලේ තේ එකක් හදනවා මට..."

ඒ අවසරයෙන් කුරිරු සතුටක් ලද නිළධාරියා නැවතත් මා දැඩිව අල්ලා පුටුවෙන් බිම දමා පිටට හා කකුල් වලට වැරෙන් පහර දෙන්නට පටන් ගත්තේය..

"අනේ සර් ගහන්න එපා..දෙයියනේ රිදෙනවා..මං කරපු වැරැද්ද මොකක්ද සර්..ගහන්න එපා..." දරාගත නොහැකි වේදනාවට කඳුළු කැට විසි වන්නට විය..කොතරම් විලාප තැබුවත් අසනා කෙනෙක් නම් නොවීය...කිසිදු හිතක් පපුවක් නැති නිළධාරියාගේ බූට් සපත්තු පහරින් පිට රක්තවර්ණයෙන් පෙඟී යාමට වැඩි වේලා නොගියේය...

"ඇයි තොපි මට ගහන්නේ..කියලා ගහපියව් ප.....ලා....හෙන ගහනවා යකෝ රිදෙනවා...අනේ සර් වඳින්නම් නවත්තන්න කියන්න සර්.."

"සමරේ....දැන් ඇති.." මෙපමණ හඬ තලද්දීද සංසුන්ව තේ පානය කල නිළධාරියා පැවසූ වහාම කොන්ඩෙන් ඇද යලි පුටුව මත මා හින්දවූවේය...එහෙත් හිඳ ගැනීමට නොහැකිව මේසය මත හිස තබා ගත්තේ දැඩි ප්‍රහාරයකට ලක් වූ බැම්මක් බිමට සමතලා වන ආකාරයටය...

"මේකගේ කටේ සද්දේ...කෑ ගැහුවට මේ පැත්ත පලාතකට එන්න එකෙක් නෑ..දැන්වත් ඇත්ත කියපන්..උඹට ගහන එකෙන් අපිට ඇති සතුටක් නෑ පරයෝ..අපි කරන්නේ රාජකාරිය.."

"ඉතින් දෙයියනේ බුදු මහත්තයෝ මං කරපු වරද මොකක්ද..."

"පෙරේදා උඹ කොහෙද හිටියේ..."

"පෙරේදා මං අනුරාධපුරේ සර්.."

"ඇයි උඹ අනුරාධපුර ගියේ..?"

"මගෙ යාලුවෙක් හම්බ වෙන්න.."

"කෙල්ලෙක්ද..? කොල්ලෙක්ද..?

"කෙල්ලෙක් සර්..අපි දෙන්නට දෙන්නා ආදරේ කරනවා...සර් වතුර ටිකක්.."

"මෙන්න මූට වතුර ටිකක් පොවහන්..." ඉහල නිලධාරියාගෙ අණින් දැඩිව දැනෙමින් තිබූ පිපාසය නිවා ගත්තෙමි...වතුර බීමෙන් ලද ජීවයෙනුත් වේදනාකාරි මොහොතකිනුත් මිදී මෙලෙස ප්‍රශ්න කිරීමෙන් ලද අස්වැසිල්ලෙන් හිතට යම් කිසි සහනයක් දැනෙන්නට විය..සෙමෙන් වේදනාවටම හිරි වැටී තිබූ කොන්ද පුටුවට හේත්තු කර ගනිමින් නැවත අසන ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට සැරසුනෙමි..

"පුදුමයි අයිසේ...සමරෙගෙන් ගුටි කාලත් නැගිටලා ඉන්නවා ඇ..."

"සර්...මගෙ සුරංගනාවිට කරදරයක්ද...?"

"ඒක තමයි උඹෙන් අපි අහන්නෙත්, සුරංගනාවිලු...සුරංගනාවියක්ම තමයි යකෝ ඒ කෙල්ල..තෝ වගේ දෙකයි පණහෙ ලෝ ක්ලාස් හිඟන්නෙක්ව බලන්න ඒ කෙල්ලගෙ කරුමෙටම තමයි එන්න ඇත්තේ..."

"අනේ බුදු සර් දවස් දෙකක් තිස්සෙ මමත් බලන් ඉන්නවා දෙයියනේ මගෙ රත්තරං මට කතා කරනකන්.. මගෙ කෙල්ලට මං එහෙම කරදරයක් කරන් නෑ හීනෙකින්වත්...කොයි මගෙ කෙල්ල...අනේ තරූ..ඒ මගෙ පණ සර්...ඒ මගෙ හැමදේම...මොකක්ද සර් වෙලා තියෙන්නේ..අනේ දෙයියන්ගෙ නාමෙට මට කියන්න සර්..."
ගතේ වේදනා සිතේ වේදනා කෙලෙස නම් දරාගන්නද..කෑ ගැසුනි..පෙරට වඩා වැඩි හඬකින් කෑ ගසා හැඬුවෙමි..දෙයියනේ මේ මොකක්ද කලේ....

"මෙතන රඟන්න එන්න එපා බං..අපි බබ්බු නෙමෙයි..අපි පොලිස් කාරයෝ...උඹෙන් කොහොමද වචනෙ එලියට ගන්නේ කියලා දන්නවා..සමරේ පටන් ගනින්..."

"අනේ මහත්තයෝ ගහන්න ඇති වෙනකන්..ඒත් මගෙ කෙල්ලට මං මොකුත් කරදරයක් කලේ නෑ දෙයියනේ..මට ජීවත් වෙන්න ඕනි නෑ සර්..මාව මරලම දාපල්ලා.." දෙවියනේ මගෙ කෙල්ල...මොකක්ද මේ උනේ රත්තරං....ඔයා බැහැල ගියේ අයෙ නොඑන්නමද මගෙ පණ.....කෙතරම් වේදනා බර මුෂ්ටි පහරවල්, පොලු පහරවල් වල වේදනාව පරදා පෙරදා හමු වූ ඇයව සිහි වූ වේදනාව ගං දියක් සේ ගලා ගියේය..තව දුරටත් විලාප නොතැබුවෙමි..."මරපල්ලා..මරං කාපල්ලා..මගෙ රත්තරන්...මගෙ තරූ...නොමැති ලොව මට ඇති වැඩකුත් නොමැත....

"ඒ බලපන් මූ මැරිලද කියලා..."

"නෑ සර් මේකා හොඳට ට්‍රේනින් පොරක්ද කොහෙද..."

"විමලේ...මුගේ ෆයිල් එක තියෙනව නේද..මූ ෆෝසස් පොරක්ද...?"

"නැහැ සර්..මේ ළමයා financial බැංකුවක HR manager කෙනෙක්..උගත් ළමයෙක් සර්.."

"මොකද...හුරතලේද ළමයා ළමයා ගාන්නේ...කෙල්ලෙක් අතුරුදහන්, මේ පාහරයා තමා ඉන්න එකම සාක්ෂිය...උගත් උන් තමයි මෙහෙම ගේම් ගහන්නේ අද කාලේ...."

"සර් මු අඬනවා ඒත් සද්ද නෑ..මොකද කියන්නේ තව දෙකක් දෙන්නද..?"

"එපා සමරේ...වතුර එකක් මූනට දානවා..විනාඩි පහෙන් එනවා මං...ලෑස්ති කරලා තියනවා විමලසේන...හුරතල් කරලා රාජකාරි කරන්න බැ අයිසේ...ඉහලට වාර්ථා කරන්නේ තමුසෙ නෙමෙයිනේ....සමරේ වරෙන් යන්න ටිකක් රත් වෙලාම එමු..."

"ළමයෝ.....ළමයෝ...මේ වතුර එක බොන්න...මේ මිනිස්සුන්ට හිතක් පපුවක් නෑ...මටත් ඉන්නවා මේ ළමයගේ වයසේ පුතෙක්..මූණ දැක්කම කියන්න පුලුවන් ඔය ළමයා මේකට සම්බන්ධ නෑ කියලා..දන්න හැමදේම අහන වෙලාවට කියන්න..."

"අනේ සර් මගෙ කෙල්ලට මොකද වෙලා තියෙන්නේ...ඔයාවත් කියන්නකෝ සර්..මාත් සර්ගෙ පුතෙක් කියලා හිතාගෙන කියන්නකෝ..වඳින්නම්....මගෙ කෙල්ල කෝ..." ඉකි ගැසීම වාවාගත නොහැකිය...කැඩුනු නහය, පැලුනු දෙතොල්, කඳුලින් තෙත් වී තවත් වේදනා ගෙන දෙයි...

"මං දන්නේ මෙච්චරයි පුතේ..ලොකු තැනක කෙල්ලෙක් තමයි අතුරුදහන් වෙලා තියෙන්නේ..පුතා දන් නැද්ද ඒ ගෑණු ළමයගෙ දෙමවුපියෝ.."

"බිස්නස් කරනවා කියලා තමයි සර් කිව්වේ...මෙච්චර ආදරේ කරන මම මගෙ කෙල්ලට කරදරයක් කරයිද..මහත්තයෝ මගෙ පණ ඒ.."

"නොතේරෙනව නෙමෙයි පුතේ..මටත් වාවගන්න බෑ මේ දස වද...පව්කාරකමට පොලීසියට බැඳුනේ...දැන් හොඳ පුතා වගේ පුටුවෙ ඉඳගන්න පුළුවන්ද බලන්න..දැන් අර යක්කු ඒවි..."

අපහසුවෙන් වෙර ගෙන විමලසේන මහතාගේ ඉල්ලීමට පුටුවට බර උනි..හැඬුම නවතා ගත නොහැක..එහෙත් මේ මොහොතේ දුර්වල වීම මා හට අවාසිදායකය...කෙසේ හෝ සිදු වූ දෙය සොයා ගත යුතුය..."දෙයියනේ මගෙ කෙල්ල..මෙහෙම දෙයක් වෙනවා කියලා දන්නවා නම්.."

"පුතේ, අරුන් එන්න කලින් මේ පෙනඩෝල් දෙක බොන්න..."

"මාව මැරුවත් කමක් නැහැ සර්...මගෙ පැංචිට මොකද උනේ කියලා හොයලා දෙන්න..ප්ලීස්..." හැඬුම වලකාගනිමින් එසේ පවසද්දී විමලසේන මහතාගෙ දෙනෙතටද කඳුළු පිරිනි..

"මං මට පුලුවන් දෙයක් කරන්නම් පුතේ..ඒක පොරොන්දුවක්...මේ පෙනඩෝල් දෙක බොන්න..දැන් අර යක්කු දෙන්නා බීලා ඇවිත් මොනා කරයිද කවුද දන්නේ.."
විමලසේන මහතාගෙ දැඩි පෙරැත්තය හමුවේ පෙනඩෝල් දෙක බී තිබූ වතුර බෝතලයම පානය කලෙමි...එක වැර හිසේ දැනුනු වේදනාවට බිව් වතුර සියල්ලම නැවත මුවින් පිටවෙන්නට විය..

"අනේ පුතේ..මේ මොකද.? අමාරුයිද...?" පිට අත ගාමින් ඔහු ඇසුවේය..

"ඌහ්...නෑ ඔ....ඔ.ඕලුව ටිකක් රිදෙන්නේ...අන්න අරුන් එනවා..මහත්තයා යන්න දැන්....."

"පරෙස්සමින් පුතේ බුදු සරණයි උඹට...." සත්තකින්ම ඒ වදන් සිතට දැනුනි..ඔහු දෑස් පිසිමින් ඈතට යන අයුරු බලා දුක් උනෙමි..පියෙක්ට පුතෙකුගේ දුක ඉහිලිය නොහැකිය.."

"දැන්වත් කියපන් ඇත්ත..අපිට තව රාජකාරි තියෙනවා..."

"සර් කියන්න කියන්න කියනවා මං මොනවා කියන්නද සර්...පළවෙනි වතාවටයි මං කෙල්ලව දකින්න ගියේ...එතකන් දැකලා තිබුනෙවත් නෑ...තුන් මාසයක්ම මැසේජ් කෝල් වලින් අඳුනගෙන ආදරේ කලේ.....ඒ රත්තරන් කෙල්ලට කරදරයක් කරන්න තරම් මං පාහර බල්ලෙක් නෙමෙයි සර්...පැලෙන්න ආදරේ ඒ කෙල්ලගේ ඇස් වල දැක දැකත් ඒ ආදරේ නැති කරගන්න මං මෝඩයෙක් නෙමෙයි..."

"අප්පද බොල..මේකගෙ සැර..තොට මොනවද අරූ දුන්නේ...සැර බාල කරලා කියපන් හම්බ උනේ කොහෙදිද කියලා...."

"කියන්නම් සර්...කෙල්ලව ඉස් ඉස්සෙල්ලාම දැක්කේ බස්ටෑන්ඩ් එකෙන් අනුරාධපුරේ.."

"නාහෙන් අඬන් නැතුව රඟ නොපා කියපන් ඉතින්.."

"ඊ...ඊට පස්සෙ අපි කලා වැවට ගියා...ටිකක් වෙලා ඉ.....ඉඳලා දවල්ට කෑම කාලා අපි ආවා.."

"කොහෙටද.."

"ආපහු බස්.....ස්ටෑන්ඩ් එකට..ඒත්..?"

"ඒත්..?"

"ස්ටෑන්ඩ් එකේ එයාගෙ අයියව දැකලා කිලෝමීටරයක් විතර එහා බැස්සේ.."

"ඊට පස්සෙ දෙන්න කොහෙද ගියේ...?"

"මං බැස්සෙ නෑ සර්....තරූ විතරයි බැස්සේ...ගිහින් කෝල් එකක් දෙන්නම් කිව්ව කෙල්ල සර්...එච්චරයි මං දන්නේ දෙයියනේ...මෙහෙම විඳවන්න මට බෑ සර්...මොකද කෙල්ලට වෙලා තියෙන්නේ කියන්න බුදු සර්...."

"උඹ කෙල්ලට මොකද කලේ...?"

"අනේ දෙයියනේ පව් කතා කියන්න එපා බුදු මහත්තයෝ..මං ඒ කෙල්ලගෙ ඇඟට නෙමෙයි....මාව මරන්න මහත්තයෝ මං එහෙම බල්ලෙක් නෙමෙයි...."

"සමරේ පෝන් එක ගෙනෙන්...මූ කියන් නෑ..තව ටිකක් සළකන්නම වෙයි..."

"ආ සර් පෝන් එක..මුගෙ පෝන් එක චෙක් කරනවා..ඒකෙ විස්තර යැව්වා ඔෆිස් එකට.."

"Ok...ඒ details මටත් මේල් කරන්න කියනවා...මූව ඇදලා බිමට දාපන්....."
පෙරට වඩා අමනුස්සයින් වී සිටි ඔවුන් දෙපල කුමක් කලත් කමක් නැත...උවමනා කෙසේ හෝ කෙල්ලගේ තත්වය දැන ගැනීමයි..එතෙක් ජීවත් වූවා නම් ඇතිය...

"හෙලෝ සර් මම නාලක...yeh yeh SI නාලක...
පොඩ්ඩක් කට ඇරියා සර්..චෙක් කරන්න තියෙන්නේ ටවුන් එකේ නෙමෙයි සර් කලා වැව අවට බලන්න..
ඔවු මූ කිව්වේ කෙල්ලව අරන් කලාවැවට ගියා කියලා...එහෙ හෝටලේකින් lunch එක අරන් තියෙනවා...එතනිනුත් විස්තර ගන්න..
ඔව් සර්....
නෑ නෑ තව විස්තර ගන්නම් සර් බය වෙන්න එපා...
නෑ සර් ඒත් මූ කියන්නෙ නම් ආපහු ටවුන් එකට ආවා කියලා..
හරි සර්...
O...ok සර් ඒ ගැනත් බලන්නම් මූ කට ඇරියෙ නැත්තම්...
Ok sir.....bye....
.
ඒයි උඹ ඇත්ත කියන්නෙම නැද්ද...?"

"කිව්වෙ ඇත්තම තමයි සර්...මගෙ කෙල්ල ගැන තවම ආරංචියක් නැද්ද සර්...මං ඇත්තමයි කිව්වේ දෙයියනේ.."

"මුගෙ අම්මට.....ගනින් සමරේ මේකව උස්සලා මේසෙ උඩට...."

මිහිපිට අපායක් බඳු වූ ස්තානයක් නොදත් හතර අත නොපෙනෙන කාමරයේ නොයෙක් දස වද අතර බොඳ උනු දෑසට පෙනෙන්නේ ඇයගේ රුවමය..දසත හමන සුළං කෝඩය අතැර වැහි වළාවෝ මහී කාන්තාව සිඹින්නේ වෙනදා නොදුටු වියරුවකින්‍ ය....
ගිණි කෙළි වන් අකුරු සැර මැද්දේ ද වෙහෙස නොවුනු කුරුරු නිළධාරින් එකිනෙකා පරයමින් එක පිට එක පහර දෙන්නේ සංසාර ගත වෛරයක් පිරිමසා ගැනීමට මෙනි..කෙතරම් විලාප තැබුවත් අසන්නට දෙවියෙක් තියා මිනිසෙක්වත් අහලක නොමැත...එහෙත් ඒ නොමැකෙන සකුණ රුව මා දෙස බලා හිඳිනු පෙනෙයි...දෑත දිගු කරන්නටවත් ශක්තියක් නොමැති වුවත්, ඇස් පියන් පත් නොපියා ඇය දෙසම බලා සිටීමට සිත් දෙයි... මිණිද පරදන දෑස් අග පුංචි මුතු ඇටයකි..... රත් පැහැ කම්මුල් පවසන්නේ අනුකම්පාවක ලකුණුද..? "එපා මගෙ රත්තරන්....ඔයා දුක් වෙන්න එපා..මට රිදෙන් නෑ...ඉක්මනට මං නිදහස් කරයි....."

"මොනවද යකෝ කියවන්නේ...."

"මූ මානසික ලෙඩෙක්ද කොහෙද..?"

"අයිසෙ විමලේ..කෝ මේ මිනිහා.....සමරේ ගිහින් වතුර එකක් අරන් ඇවිත් ඇඟට දාපන්...මැරෙයි නැත්තන්...ඒත් එක්කම විමලෙට කියනවා ඔය තියෙන දෙයක් කන්න දෙන්න කියලා..."

මෙතරම් වෙලා හිරි වැටී තිබුනු ගත, සීතල වතුර වලින් නැහැවුනු පසු රිදුම් දෙන්නට විය...යලි උණුසුම් වූ ජල බඳුනක් රැගෙන ලඟට ආ විමලසේන මහතා රෙදි කඩකින් පිට හා කකුල් තවන්නට විය....රිදුම් දුන්නත් ඒ ලැබෙන සහනය ප්‍රතික්ෂේප කිරීමට සිතක් නොවීය...

"පුතේ.......පුතේ...."
කතා කරගැනීමට මුව විවර කරගැනීමටද අපහසුය...බෙල්ල සෙලවීමටවත් නොහැක..එය හැඟුනු නිසාදෝ විමලසේන මහතා මා ඉදිරියට විත් මුහුණ බැලුවේය...

"මුන්ට හෙන ගන්න එපැයි අම්මපා මේ කරන දහපද්දුරා පවුකාර වැඩ වලට..."

බෙල්ල හා මුහුණ උණු දියෙන් පොඟවා ගත් රෙදි කැබැල්ලෙන් තවමින් ඔහු කොඳුරයි...ඒ දෑස් වලද කෝපය පිරි දුකක් ඇතැයි හැඟුනි..ඉහල නිළධාරීන්ට යටහත්ව සිටින කාරුණික නිළධාරියෙක්, පියෙක් වන්ව සළකන ආකාරය සිතා ඒ කරුණාබර මුහුණ දෙස වේදනාවෙන් බැලීමි....

"මෙ..මෙතන වතුර තියෙනවා....මං පුතාව ඉන්දවන්නම් බිත්තියට හේත්තු කරලා..පුතා යට ඇඳුම හෝදලා ඇඳගන්න..අර යක්කුන්ගෙ පාරවල් ඉවසගන්න බැරුව....පුතාට දැනුන් නැද්ද...මං දොර වහන් එලියට යන්නම් පුතේ....මෙන්න වතුර එක..."

ඉකි ගැසිණි...පැයකට පමණ පසුව මුවින් හඬක් නිකුත් වූවාමය... "අනේ දෙයියනේ...." විමසේන මහතා කාමරය වසාගෙන ගියේය..මියෙනු සැපයි සිතා හිතේ වේදනාවෙන්ම හිස බිත්තියේ ගසා ගතිමි....එහෙත් වේදනාව නොමියේ..තව තව උත්සන්න වේ... උණු වතුර බඳුනින් සියල්ල අපහසුවෙන් යුතුව සෝදා දමා සිට ගැනීමට අපහසු හෙයින් දෙදණින් සිට බිම අත ගා නැවත පුටුවට පැමිණුනෙමි...මුහුණේ කැට ගැසුනු ලේ නහය පුපුරා ගැලූ ලේ.......... " මේ හැමදේම ඉවසන්නම් දෙයියනේ....මගෙ කෙල්ලව ආරක්ෂා කරලා දෙන්න... දළදා හාමුදුරුවනේ.... මගෙ කෙල්ලට මුකුත් කරදරයක් වෙන්න එපා..."

"පුතේ...මොනව හරි කාලා බඩගින්න නිවා ගන්න..."

බඩේ ගින්න නොව, දැන් ඇත්තේ සිතේ ගින්නයි... කුසගිනි ගතේ වේදනා සියල්ල දරා ගත හැක...එහෙත් තවමත් නොමැරුනු සිතට එන නුඹ ගැන දුක කෙසේ නම් නිවාලන්නද...?

"පුතේ....මේ අරුන් බීලා ඉතුරු බ්‍රැන්ඩි...චුට්ටක් බිව්වා නම් පාන් කෑල්ලක් බඩට දාගත්තැකි...කවුද දන්නේ හෙට මොනව වෙයිද කියලා..ඒකට ලෑස්ති වෙන්න ඇඟේ හයිය හත්තිය තියෙන්න ඕනි..ආ මේක බොන්න.."

ඔහු පවසන්නේ සැබෑවක්මය.. එන ඕනි දේකට මූණ දෙනවා.. පැලුනු දෙතොල් අතරින් මී විත ගලා යද්දී පලමුවර බිමට හැලුනේ එමගින් ආ දැරිය නොහැකි වේදනාව නිසාය..එහෙත් උත්සහය අත හැරියේ නැත.. විමලසේන මහතා කිරි දරුවෙකුට මෙන් පොවන බ්‍රැන්ඩි බෝතලයෙන් උගුරු කිහිපයක්ම උගුර තුලින් ගලා ගියේය...ශරීරයම රත් වී වේදනා සෙමෙන් වියැකී ගත හිරිවැටෙනවා දැනුනි..එවෙලේම මාලු හොදි පෙඟවූ පාන් කැබලි කිහිපයක්ම කුස තුලට කිඳා බැසගෙන සහනයක් ගෙන දුන්නේය...

"අර යක්කු දෙන්නා දැන් හොඳටම නිදාගයි පුතේ...පුලුවන් නම් දැන් ටිකක් නිදාගන්න...මං මොකක් හරි රෙදි කෑල්ලක් බලලා එන්නම්.."

කෘතඤ්ඤ පූර්වක දෑසින් එතුමන් දෙස බලා "සර්ට පින් සර්.." සිහින් හඬින් කොඳුරා කීවෙමි.... ඔහුගේ වාරුවෙන් බිත්තිය මුල්ලට පැමිණ හිඳගෙන ඔහු යන දෙස බලා උන්නේය...තැලුම් හා තුවාල මදකට සමනය උවත් බිත්තියට පිට තබා ගත නොහැකි විය...එහෙයින් සිමෙන්ති බිමේ ඇලයට දිගා වුනෙමි... යන්තම් අඩු උනු වර්ෂාවේ සිහින් පිණි දිය සමග ඇදෙන මද සුළඟට ගත වෙව්ලයි... දෛවය විසින් ඉරණමක ලියා තැබූ ජීවිතයේ මෙම මංසලේ තව කෙතරම් දුක් ගැහැට තිබේ දැයි සිතමින් දෑස් පියන් වසා ගත්තෙමි...

"සිහිනෙන්වත් වඩින්න
ආසයි නුඹ දකින්න....
නොබියව මට මියැදෙන්නත්
මට බැහැ නුඹ නොදැකවම...
ඇවිදින් හරි යන්න
කෙසේම හෝ එන්න..
පුළුවනි මට එතකොට නම්
දෑස පියා ගන්න.."
 (සියලු නම් ගම් මනක්කල්පිතයි)
•••••••••••••••••••••••••••••••••••••••
බලා රස විඳි සැමට තුති...යලිත් ඊළඟ
කොටසින් මුණ ගැසෙමු..
•••••••••••••••••••••••••••••••••••••••
  


No comments: