Translate

Saturday, July 16, 2016

සිහිනයකි දෑස් ලඟ 05

••••••••••••••••••••••••••
සිහිනයකි දෑස් ලඟ
••••••••••••••••••••••••••

¥ - පස්වන දිගහැරුම - ¥

බසයෙහි ඇගෙ කෝලකම් දෙස බලා වේලාව ගත වූවා නොදැනින...දයාබර වූ සෙනෙහසින් නෙලුම් පැහැ දෙතොලඟ දඟකරන අයුරු බලමින් මිණිද පරදන දෙනෙතඟ ඇති රස ආදරයක කතා කියවමින් ගමන දිගට ඇදෙන්නට විනි..ගමනාන්තයට පැමිනි විට ඈ මගේ දෑත් අල්වාගෙන නිදහස් කිරිල්ලියක මෙන් සුළඟ පොර බදන වැව් තීරය වෙත ඇවිද ගියේ මහද පෙලූ සංකා සියල්ල මකා දමාය..

"ගොඩක් නිස්කලංකයි අයියා පැටී..." කලින් ඇවිත් තියේද මෙහෙට්ට.."

"නෑ හැබැයි බස් එකේ යද්දි දැකලා තියෙනවා.."

"මං පොඩි කාලේ ආවා මතකයි..අර සොරොව්ව එහෙම මතකයි.."

"මේ හරියෙන් ඉඳගමුද..?"

"ම්ම්........අපි වගේ සමණල ජෝඩු ගොඩාක් ඉන්නවා තැන් තැන් වල.."

"හි හි අපි වගේද කවුද හරියටම දන්නේ.."

"අනේ ඉතින් මැට්ටා ඔයා...අපි ඒම හිතමුකෝ.."

"හ්ම් හ්ම්..."
කියන්නට දහසක් දේ තිබුනත් කියන්නට නොහැක.. ගගනින් බට සුරංගනාවියක් මාගෙ දෑත අල්වාගෙනය...හැඟුම් දහසක් දේ හදවතට කියන්නට ඇත...නමුත් ඒවා පිට කිරීමට තරම් සිතට ධෛර්‍යක් නැතුවා වැනිය...වැව් තීරයේ ගස් වැඩුනු බිමක සුළං සැර විඳිමින් ඔහේ ලන්ව කිසිත් ම කතා බහක් නොමැතිව දෙදෙනා වෙනම ලෝකයක සිටී..

"අයියා පැටී.."

"ම්ම්ම්ම්..."

"ගොඩක් දේවල් අහන්නම් ගොඩක් දේවල් කියන්නම් කියලා ආවත් එකක්වත් මතක නෑනේ.."

"මටත් පැංචියෝ.."

"මං ඔයාට ආදරෙයි අයියා පැටී.."
දෑසට දෑස හමු වන මොහොතකදී ඈ කියයි...වෙව්ලන දෙතොල රෝස පැහැ වුන කම්මුල් වාරුවක් නැතිව මෙන් නිසල් දෙඅත් කුමක්දෝ කියන්නට තනයි..සෙනෙහසේ නාමයෙන් අකීකරු උන හදවත ඇගේ වතට ලං වනු මට හැඟෙයි....

"ආන් හංසයෙක්...."

"නෑ ඌ පාත්තයෙක්.."

"අනේ හංසයෙක් කියන්නකෝ.."

"ම්ම් හරි ඔව්මයි හංසයෙක්..."

"හි හි... අයියා පැටී..."

"කියන්න පැටියෝ.."

"මටත් ඕනි හංස ධේනුවක් වෙන්න..."

"ඇයි වතුරෙ පීනන්නද.."

"ඔය ඉතින්, මං තරහයි.."

"නෑ ඉතින්... කියන්නකෝ මගෙ කෙල්ල මොනාද කියන්න ගියේ..."

"ම්ම්...හංසයෝ ආදරේ කරන්නේ එකම එක්කෙනාටලු ජීවිත කාලෙම..අනික හංසයා මැරෙද්දි හංස ධේනුවත් මැරෙනවලු...ඉතින් මටත් ඕනි එහෙම ආදරයක්.." මුහුණ ඇද කරගනිමින් බොරු අමනාපයක් පෙන්නා ඇය කීවත් දෙනෙත් අග දිලිසෙන පිණි බිඳුව මා හද සසල කිරීමට වූවේ මා මෙවන් අවස්තාවක කල විහිළුව නොමනා දෙයැක්මැයි සිතට දනවමින්‍ ය..

"රත්තරං.....ඔයා මගෙ හුස්ම..මට හොරෙන් ඈතට යන්න බැරි මගෙ හෙවනැල්ල...මගෙ ජීවිතේ....නෑ මේ මගෙ සංසාර ගමනෙ නිවන් දකිනකන්.....ඔයා මගේ රත්තරන්...මං ඔයාගේ..."

"ඔය සත්තයිද අයියා පැටී..."

"සත්තයි මැණික....."
කලා වැව් දිය සාක්ෂි දරමින් ජය ශ්‍රීමා බෝ සෙවනින් පහස ලද අනුරපුර සුරංගනාවිය බොඳ උන දෑසින් බොහෝ වේලා මා දෙස බලා උන්නාය..

"ඔහොම බලන්නෙපා මැණික.."

"ඇයි...?"

"ගෙදර අරන් යන්න හිතෙනවා ඔයාව..."

"ඉතින් අරන් යන්නකෝ.."

"අරන් යන්නද...?"

"එපා.., මුලින් ගෙදරින් කැමැත්ත අරන් ඉමු..."

"කැමති වෙයිද මට.."

"ඒ ගැන දැන් කතා කරන්න එපා...මට මේ ආදරේ විඳින්න දෙන්න.."

"ගොඩක් ආදරෙයිද..."

"ම්ම්ම්ම්...කොච්චරක්ද කියන්න තේරෙන් නෑ අයියා පැටී.. හැබැයි මේ වැවේ තියෙන වතුරටත් වඩා ඔයාට කැමතියි..ඔයාව දැක්ක මොහොතෙ මීට කලින් අපි හම්බෙලා තියෙනව කියල දැනුනා....මං ආදරෙයි මගෙ අයියේ...."
මා කෙතරම් වාසනාවන්‍තද...මෙවන් සුරංගනාවියක් වන් යුවතියක්ගේ ආදරයක් ලැබීමට...ජීවිතයේ ප්‍රථමයෙන් ලද සෙනෙහසේ අස්වැන්න මා සිත කුල්මත් කරවීය...

"නංගි පැටී.."

"ම්ම්ම්ම්ම්ම්..."

"මං ගොඩාරියක් වාසනාවන්තයි...ඔයාගෙ ආදරෙ ලබන්න.."

" මාත් වාසනාවන්තයි...තේරෙන කාලෙ ඉඳන් ආසා කලේ රැවුල වවපු හැන්සම් කොල්ලෙක්ට...profile එකේ photo එකක් දාලා තිබ්බෙත් නෑ...මං හිතුවෙ පොල් බෑයක්ද දන් නෑ කියල...හි හි..."

"ම්ම් පොල් බෑයක් උනා නම්..?"

"පොල් බෑයක් උනත් අඟුරු කෑල්ලක් උනත් මං ආදරෙයි...මං ආදරේ ඔයාගෙ පෙනුමට නෙමෙයි රත්තරං අයියේ...හදවතට...සත්තයි..ඔයාගෙ වචන..ඔයාගෙ අදහස්..ඔයා...සම්පූර්ණයෙන් මාව හොරකම් කලා..."

"එතකොට මං හොරෙක්ද..?"

"හි හි පෙම් හොරෙක්..."

"මට විස්වාස කරගන්න බෑ අදහගන්න බෑ මේ දවස..වෙලාවකට හිතෙනව මේ හීනයක්ද කියලා.....
.
.
ඌයි..."

"හීනයක් නම් ඇහැරෙනවනේ...හූ හූ.."
ඇය අල්ලාගෙන සිටි දකුණත වැරෙන කොණිත්තා කෝල දෑසින් සිනා සේ.....

"අනේ රිදෙනවද..?"

"ම්ම්ම් ගොඩාක්..."
නා දළු වන් දෙතොල් මුළු වතම කිලිපොල ගන්වා දකුණත සිපගනී...ඒ ලැබූ ප්‍රථම සුවයට දෑස් පියවිනි..ඒ දෑස් සත්තකින්ම සෙනෙහෙබරය....

"ඔතන නෙමෙයි රිදෙන්නේ..."

"එහෙනම්..."

"මෙතන..". පපුවට දෑගිලි තබා පෙන්වූ පසු සුසුමන් ගැටෙන අද්දරට විත් ඈ ලය මත මුහුණ හොවා මා වැළඳ ගත්තාය...

"එහෙනම් මං දුන්න ඒවා ආපහු දෙන්න..."
දෑස් පියාපත් වසාගෙන ලැම තුල මුහුණ හොවාගෙන ඇය මුමුණයි....වැව් දියවරේ සිසිලසත් සමග හමන සුළඟින් නටන කියඹු වැල් දෑතින් එකතු කර දිවියේ පැතුම් ඉටුකල සුරංගනාවියගේ රෝස පැහැ කම්මුල් කුලුඳුලේ දෙතොලඟින් නැහැවීය....




"පුදුමයි නේද අයියා පැටීට...මං නරකයිද අයියා පැටී.."

"අදහගන්න බැරිව ඇස් දෙකම,
දරාගන්න බැරිව මුළු හිතටම,
කියාගන්න බෑ හදවතට,
මේ තමයි ආදරේ කියලා..
මේ තමයි ජීවිතේ කියලා..
.
.
ආයේ කවදාවත් මෙහෙම හැඟීමක් මේ වගේ මොහොතක් එන්නෙ නෑ සත්තයි තරූ පැටියෝ...ඒ තරමට හැඟීම් ගොඩයි..මං මගෙ ජීවිතේ මෙහෙම කවදාවත් කෙල්ලෙක්ට ලං වෙලා නෑ...ඔයාගෙ සුවඳ වගේ සුවඳක් මේ ලෝකෙ කොහෙන්වත් මට දැනිලා නෑ..මේ වගේ උනුහුමක් කවදාවත් මං විඳලා නෑ..මේ ආදරේ නේද පැටියෝ.."

"අයියා පැටී...."

"ම්ම්ම්..."

"ඇස් අරින්න එපා..."

"ඇයි...."

"මං අඬනවා..."
කෙල්ලගෙ ඇස් වල සැබැවින්ම කඳුළුය..මවට තුරුලු වන මුව පොව්වක මෙන් ලයට ලංව ඉකිබිඳින කරුණ ඇය කීමටත් පෙර හදට දැනුනේ සසර පුරුද්දකටදැයි නිමේෂයකින් සිතට දැනුනි...

"ඔයා මගෙ හිත කියවන්න දන්නවා අයියා පැටී..ඒකයි මං ඔයාට මෙච්චර ලං වෙන්න හේතුව..මට ආදරයක් නොලැබිලා නෙමෙයි...මගෙ අම්මා,තාත්තා,අයියා,මල්ලි මේ හැමෝම මට ගොඩාක්..... වචනයෙන් කියාගන්න බැරි තරම් ආදරෙයි... ඒත් ඒ හැමදේටම වඩා මට ඔයාගෙන් මේ දැනෙන ආදරේ දරාගන්න අමාරුයි අයියා පැටී...."

"මං දන්නවා පැටියෝ..මට ඒක දැනුනා..දැන් ඔය ඇස් පිහදගන්න..ඒ වගේම මම පොරොන්දු වෙනවා .."

"මොනාද...?"

"ඔය දියමන්ති ඇස් වලට ආයෙ කවමදාවත් මං නිසා කඳුලක් වැටෙන්න දෙන්නේ නෑ කියලා.."

"සත්තයිද අහන් නෑ.."

"ඇහුවෙ නැතත් සත්තයි රත්තරං..."

"ඔය කිව්වට මං ඔයාගෙ වෙලා ආව දවසකට ඔයා මට ගැහුවොත් එහෙම..අම්මෝ මං දැක්කා අර බස් එකේ රවපු විදිය..."

"හි හි තරහ යනවා..ඒත් අතක් උස්සන්නෙ නෑ කවදාවත්ම.."

"ගහන්න ඕනි නෑ එහෙම එක පාරක් රැව්වම ඇති මට දවස් දෙකක් නොකා අඬන්න..."

"අනේ ඉතින්....මං ඇයි රවන්නේ.., මං ඇයි ගහන්නේ, රත්තරන්ට ආ.."

"හී....මං දඟයිනේ...නෝටි වැඩ කරලා අම්මිගෙන් බැනුම් අහනවා හැමදාම..."

"දඟ කරන්න..නෝටි වැඩ කරන්න.. මං ආසයි ජීවිතේ විඳින්න...ඔයත් එක්ක..."

"මගෙත් එකම හීනේ අයියා පැටීව තප්පරයක්වත් රිද්දන්නෙ නැතුව මැරෙනකන් ආදරෙන් ඉන්න.."
විස්වාසය මත ගොඩ නැගෙන ජීවිත ඇරඹුම බුදු සරණින් සැමදා මෙලෙසම පවතීවායි සිතා දොහොත් මුදුන් දී වඳින සියලු දෙවි දේවතාවන්ගෙන් කලා වැව් ඉස්මත්තේ සිට ප්‍රාර්ථනා පිරීය...පෙර සසරකද මෙලෙසම පැතුම් පතා ආ නිසා මෙලෙස හමුවී ඇතැයි හදවතට තේරුම් යන්නට මේ ගත වූ කෙටි කාලය බෙහෙවින්ම ප්‍රමාණවත් විය...

"අයියා පැටී..."

"බඩගිනී නේද..."

"ම්ම්ම් ඔව්.." මුහුන ඇඹුල් කරගෙන කියවන ආකාරය තව ආත්ම සියයක් නොමැකෙන සේ හදවත මත සිත්තම් වීය..."හැම වෙලේම කනවා.,මහතත් නෑ..,ඇට්ටර කෙල්ලෙක්ද කොහෙද..,"

"නෑ මං කියන දේ අහන සත්තලම් දුවෙක්..අම්මිගෙන් අහන්නකෝ ආවම.."

"මට ඒක තමයි හිතුනේ කියල කෝමද දන්නේ ආ...මං වෙන දෙයක් හිතුවේ..."

"නෑ නෑ මේ බඩජාරි කෙල්ල මහත් වෙන් නැත්තේ කියන දෙයක් අහන් නැති ඇට්ටර කෙල්ලෙක් හින්ද කියලනෙ හිතුවේ...."

"අනේ මැට්ටී...යන් මොනා හරි කන්න.."

"මේ ලඟ පාත කඩ නෑනේ පේන්න...පයින් යන්න බෑ ඔන්න වඩාගෙන යන්න වෙන්නේ ඔයාට..". දුක් මුහුණක් මවාගනිමින් ඇය කීවේ සැබෑවටම පෙනෙන මානයක කඩයක් නොතිබීම නිසාමය.."

"අනේ.....අනේ බිමින් තියනවා කොල්ලෝ කට්‍ටිය ඉන්නවා..මං බොරුවට කිව්වේ....මං පයින් එන්නම්..අනේ අයියා පැටී අරයලා හිනා වෙනවා...."

"ආ චන්ඩි කෙල්ල වගේ කිව්වේ මොකටද වඩාගෙන යන්න කියලා..."

"මේ චන්ඩි පැටියා ඇත්තටම කරයි කියලා හිතුන් නෑ...."
සිනිදු දෑත් අල්ලන් සිරුරු ගෑවි ගෑවී තඹුත්තේගම පාරේ ඉදිරියට දෙදෙනා නිදහසේ ඇවිද ගියෙමු.....වැඩි දුරක් යාමට පෙර අවන්හලක් හමු වූ හෙයින් එහි අසුන් ගෙන දහවල ආහාරය භුක්ති විඳ යලි අනුරපුර බලා ගමන් ඇරඹියේ වැඩි වේලා රැඳී සිටීමට තරූගේ නිවසින් අවසර නැති හෙයිනි...

"අයියා පැටී දැන් මං බහින්න ලඟයි..."
තාවකාලික සමු ගැන්මක් උවත් මෙසේ සමුගැන්ම හිතට ප්‍රීතියක් නම් නොදෙන්නේය..දෙදෙනාගේම මුහුණු ශෝකයෙන් ඇලලීය...

"ඔහොම බලන් ඉද්දී මං කොහොමද දෙයියනේ බැහැලා යන්නේ..."
බොඳ උන දෑසින් ඇය කියද්දී ඉවත බලා එලියට පනිමින් තිබූ කඳුළු බෝලය ඇඟිල්ලෙන් පිසදමා ව්‍යාජ සිනාවකින් හෝ ඇයව සතුටු කිරීමට උත්සහ ගත්තෙමි...

"අනේ දෙයියනේ අයියා...."
පැමිණි බස් රිය නැවතුම්පළ තුලට දමද්දී වාගෙම තරූ පහත් වී මුහුණ වසා ගත්තාය....

•••••••••••••••••••••••••••••••••••••••
බලා රස විඳි සැමට තුති...යලිත් ඊළඟ
කොටසින් මුණ ගැසෙමු..
•••••••••••••••••••••••••••••••••••••••




No comments: