Translate

Monday, August 29, 2016

සිහිනයකි දෑස් ලඟ

•••••••••••••••••••••••••••
සිහිනයකි දෑස් ලඟ
•••••••••••••••••••••••••••

¥ - විසිදෙවන දිගහැරුම - ¥




"හෙලෝ..." අනෙක් පසින් සඳුන්ගේ යහලුවා වූ කපිලගේ හඬ ඇසින...
"අයියේ මම..."
"ආ පසිඳු..මම එන ගමන්..විනාඩි පහෙන් ඔතන..." කපිල එසේ පවසා දුරකතනය තැබුවෙන් කොතැන රැඳී සිටින්නදැයි පවා නොදැන රාත්‍රිය ගත කල නැවතුම්පලට පැමිණියෙමි.. පෙරදා පියල් ගෙනවිත් දුන් බෑගයද තුරුලු කරගනිමින් කපිල එනතුරු බලා උන්නෙමි..
අද ගත් තීරණය තරූ හා පැමිණීමට පෙර කලේ නම් ඇයට මෙතරම් දුකක් අත් නොවන බව සැබෑය... නමුත් දෛවය විසින් අප හා කල සෙල්ලමේදී වඩාත් කරදරයට පත් වූයේ රාජිත නොවේදැයි යටි සිතට මහත් වේදනාවක් ගෙන දුන්නේ නිතැතිනි.. ඔහුගේ සිතට හෝ සහනයක් වීමට ලඟ හිඳ නොහැකි වීම දරා ගත නොහැකි දුකකි...
ස්වල්ප මොහොතකින් පොලිස් රියකින් පැමිණ නැවතුම්පල ඉදිරියේ සිට ගද්දී නැවතුම්පල තුල සිටි මා ඔහු වෙත ඇදුණේ හැර යා නොහැකි බැඳීම් සිත බිඳ දමද්දීමය..
"ආ පසිඳු...අපි යමු නේද..? සොරි මේකෙ එන්න උනාට.. අවුලක් නෑ නේද...?"
"තවත් මොනා වෙන්නද අයියේ මට...."
"හරි හරි ඔවුවා ඔහොම තමයි අපල කාලෙට.. යමුකෝ.."
"අපිට පොඩ්ඩක් අනුරාධපුර පැත්තට යන්න බැරිවෙයිද...?"
"පිස්සුද බං..මේකෙ නම් කොහොමත් යන්න බෑ... උඹ මාට්ටු උනොත් මමත් ගස්... ඒ පැත්තම හැරී සර්ගෙ මිනිස්සු....දන්නවනේ.."
"මට තරූගේ යාලුවා පොඩ්ඩක් හම්බ වෙන්න ඕනි.."
"නම්බරයක් තියෙනවද..?"
"නෑ..ඒත් ගෙවල් දන්නවා...."
"සොරි මල්ලි... එහෙනම් කරන්න දෙයක් නෑ..."
"ෂිට්....මොනා කරන්නද...?"
"හරි මල්ලිට ඇඳුම් ටිකක් ගන්නත් වෙයි නේද... Colombo වලින්ම ගමු.. මෙහෙ වැඩිපුර රවුම් ගගහ ඉන්න බෑ..."
කපිල කියන සියලු දෙයට කෙටියෙන් පිළිතුරු ලබා දෙමින් දෑස පියාගතිමි... සදා කල් යැයි සිතා පතා ආවා යැයි ඇදහූ ආදරයෙන් වෙන් වීම දරාගත නොහැකි මතකයන් වද දෙද්දී හදවත තවමත් ගැහෙන්නේ ඇයිදැයි පුදුමය... එය පැලී මා මිය යන්නේ නම් එය දැන් සැපතකි.. ළමාවිය, යොවුන් පාසැල් විය නිදහස් කුරුල්ලකු මෙන් ගෙවා දමා කෙලිලොල් දිවි පෙවතක් ගෙවූ සිතට රැගෙන ආ අමුතු මිහිර ඇයම විය..ඔහේ ගෙවූ දිවියට අරුතක් එක් කලේද ඇයමය... දිවි මාවතේ මෙලෙස දෙමංසලකින් සමු ගනීවි යැයි මොහොතකට දැනුනේ නම් ඇය, පුංචි සුරංගනාවිය, දෙවුලිය තවමත් ඒ සුරපුරේ නිදහස භුක්ති විඳගනිමින් සිටිනු ඇත.. සියළු වරද මා අත වැනි හැඟීමකි.....
"මල්ලී...මල්ලී... පසිඳු...."
"ආහ්..... Sorry අයියේ.."
"මට පේන්නෙ ඊයෙ නිදියලම නෑ වගේ..."
"ම්ම්.... දැන් කොහෙද...?"
"කටුනායකට කිලෝමීටර් 4යි තව..."
"මෙච්චර ඉක්මනට..."
"මල්ලි පැය ගානක්ම නිදිනේ... අනික ආවේ හයිවේ එකේ... හරි වොෂ් එකක් එහෙම දාගෙන ඇඳුම් ටිකක් එහෙම අරගමු... පාස්පෝට් එක ගෙනාව නේද..."
"ඔවු අයියේ ඊයේ ගෙන්න ගත්තා බෑග් එක... ඇඳුම් දෙක තුනකුත් ඇති..."
"එහෙනම් ඇඳන් යන්න එකක් විතරක් අරන් යමු තානායමකටවත්..."
කතිකා කරගත් පරිදි ගුවන් තොටුපලට යාමට පෙර තානායමකට ගොඩ වැදී කාමරයක්ද කුලියට ගෙන මා නවතා කපිල පාස්පෝට් එකද ඉල්ලාගෙන නැවත ඉක්මනින් පැමිනෙන බව පවසා නික්ම ගියේය... දින කිහිපයකින්ම නා ගැනීමට නොහැකි වූ නිසාම කාමරයේ තිබු කුඩා නාන කාමරයෙන් හොඳ හැටි නා ගතිමි...
ගෙන යාමට අවශ්‍ය ලියකියවිලි හා ඇඳුම් සියල්ල ගෙන ආ බෑගයේ පිලිවෙලින් සකසන අතරතුර කපිල පැමිනියේය...
"ඔක්කොම හරි බං... Flight එක නමයට... එතකල් මමත් ඉන්නම් අවුලක් නෑ...."
"අයියට ඉන්න අමාරු නම් කමක් නෑ යන්න.මං ඉතිරි වැඩ ටික කරගන්නම් අයියේ..."
"නෑ නෑ අවුලක් නෑ.. කෑම මං ඕඩර් කරන් ආවේ ආවාම ගන්න..මමත් වොෂ් එකක් දාගෙන එන්නම්.." කපිල විසින් ඇනවුම් කරන ලද කෑම ඔහු ඇඟ සෝදාගෙන ආ පසු අනුභව කර ස්වල්ප වේලාවකින් ඔහු නින්දට වැටුනේ පැයකින් පමන කතා කරන්නට කියාය... රතයේ එන විට නින්ද ගිය නිසා නිදිමතක් නොතිබීම නිසා දුම්වැටියක් දල්වාගෙනම දුරකථනයෙන් අක්කා හට ඇමතුමක් ගත්තෙමි...
"මල්ලි......."
"අක්කේ.... කොහොමද...?"
"තියන්න මං ගන්නම්..." ඒ හඬෙහිද යම් අමුත්තක් තිබුනු හෙයින් තරමක් තිගැස්සිනි.. අක්කා දුරකතනය තබා ඒ විගසින්ම යලිත් ඇමතුමක් ගත්තාය..
"මල්ලි හොඳින්ද...?"
"ඇයි අක්කේ..."
"අම්මයි මමයි දෙන්නම මල්ලිට කතා කරන්න විදියක් නැතුව හිටියේ..අම්මා ගොඩක් බය වෙලා මල්ලි..."
මෙහෙ වෙච්ච දේවල් ආරංචි වෙලාවත්ද.. නැත්තන් කපිලයා කියන් නෑ කියලා සඳුන්ටවත් කියලද..?
"ඇ..ඇයි අක්කේ...."
"නරක හීන දැන් සතියක් පුරාම පේනවා... අම්මා ගොඩක් බය වෙලා ඉන්නේ... කොහෙද ඉන්නේ.. එහෙට සිග්නල් නෑ කිව්වා නේද..? කෝ නංගි..."
"කෝ අම්මා දැන්.."
"අම්මට ප්‍රෙෂර් වැඩි වෙලා..ඔයා ගැන හිතලමද කොහෙද.. දැන් නම් නිදි..."
"අනේ එහෙමද.. හරි පස්සේ කතා කරමු එහෙනම්..කෝ සඳුන් ඉන්නවද..?"
"නෑ එයා ඔෆිස් ගිහින් තාම ආවෙ නෑ...."
"මට එයාගෙ නම්බර් එක sms කරන්නකෝ"
"ඇයි හදිස්සියක්ද..? ඉන්නකො එහෙනම් මං අයියට කියන්නම් කෝල් එකක් ගන්න කියලා දැන්මම... ආ මතක් කරලා අම්මට කෝල් එකක් ගන්න ආ...ඔහෙන් දහයට විතර ගන්න..." ඇය දුරකථනය විසන්දි කොට විනාඩි දහයකින් පමණ සඳුන්ගෙන් ඇමතුම ලැබිණි..
"ආ මල්ලී.. මොකෝ වෙන්නේ..."
"පොඩි කරදරයක් උනා සඳුන්..."
"මොකක්ද පසිඳු..."
"සේරම කියන්නම් ආවම... එතකන් අක්කලාට මොකුත් කියන්න එපා ප්ලීස්...."
"හරි... ඒත් තේරුන් නෑ මට, ආවම කිව්වේ....?"
"මං මෙහෙන් නමයට flight එකට නගිනවා... සේරම ඇවිත් කියන්නම්... ඔයා එයාර්පෝට් එකට එනවද මොකක් හරි කියලා..."
"හරි... ඒත් ? අනේ මන්දා... කමක් නෑ එන්නකෝ.. මං ඇවිත් ඉන්නම් එයා‍ර්පෝට්..". සඳුන් හා කතා බහින් අනතුරුව කපිලට කතා කලේ ඔහු පැවසූ වේලාව පැමිණ ඇති බැවිනි... යලි මුහුණ අත පය සෝදාගෙන දෙදෙනාම තානායමෙන් පිටත් වූයේ ගුවන් තොටුපල වෙත යාමටයි... වැඩි කතා බහකින් තොරවම ගුවන් තොටුපල වෙත ලඟා විය..
"සේරම හරි නේද මල්ලි..."
"හරි අයියා...."
"මං සඳුන්ට කතා කරන්නම්.. ගිහින් මට කෝල් එකක් ගනින් හොඳද...? එහෙනම් බුදු සරණයි... අයෙ මේ පැත්තෙ වරෙන් සේරම අමතක කරල දාලා.."
"හරි ගොඩක් ස්තූතියි අයියේ කරපු හැම උදව්වකටම...ගොඩක් පින් අයියට..."
"ඕවා මොනාද.. එල එහෙනම් මම යන්නම්...." කපිල නික්ම ගිය පසු ගුවන් මගී පර්‍යන්තය අසලට පැමිණියේ සියළු නෛතික කටයුතු කපිල විසින් ඉටු කර දුන් නිසාය... ඉපැදුනු මවු බිමෙන් නික්ම යන්නේ ආදරයේත්, මිතු දමේත් බැඳීම් අතැර දමාය... ගතින් වෙන් වී ගියත් ඒ සියළු බැඳීම් සිතෙහි සදාකල් පවතින බව අනිවාර්‍යය..
මවුබිම අතැර දමා යන්නට වේලාව පැමිනියෙන් බස් රථයකට ගොඩ වී ගුවන් යානය වෙත ගමන් ගොට මගීන් එකා පසු පස එකා ගුවන් යානයට නගින අතරතුර සැනසුම් සුසුමක් හෙලා ඒ මගීන් අතරට එකතු වී ගුවන් යානයට නැගගත්තෙමි.....


•••••••••••••••••••••••••••••••••••••••
බලා රස විඳි සැමට තුති...යලිත් ඊළඟ
කොටසින් මුණ ගැසෙමු..
•••••••••••••••••••••••••••••••••••••••



No comments: