Translate

Wednesday, August 10, 2016

සිහිනයකි දෑස් ලඟ 19




••••••••••••••••••••••••••
සිහිනයකි දෑස් ලඟ
••••••••••••••••••••••••••

¥ - දහනවවන දිගහැරුම - ¥

අහස් වියන ම කළුවරයි
නුඹගෙ මතකය සිත දුවයි
පාළු ඝනඳුර මකා තනියට
එන්නේ කවදාදෝ සිතෙයි..

මිරිගුවක්දෝ සිත කියයි
සිහිනයක් හිරි හැර කරයි
මේ තරම් පව් පිරී දෙතැනක
ආයේ හමු වේදෝ සැකයි..

එක්ව වෙන් වූයේ ගතයි
තවම වෙන් වී නැති සිතයි
කොහේ හෝ හිඳ මාව සිහිකර
නුඹත් හඬනවා මට දැනෙයි..

සුසුම තනි රකිනා සැබැයි
තනිය නුඹ නොයනා හැඩයි
ඇගෙන් තොර වූ ලොව දකින්නට
වේද හැඬුමන් සිත දවයි..

තරූ... සිත් අහස හැඩ කල පහන් තරුව.. රැය පුරාවට නින්ද සොරකම් කල දිව්‍යාන්ගනාව.. මා මෙතරම් පව්කාර වී මන්ද.. ඉකි ගසා හඬන්නටවත් ඉඩක් නොමැති ව ඔහේ ගලනා කඳුළට ඉඩදී නිහඬව රාජිත හුන් සයනයේ මෙට්ටය මත හිස හොවාන රාත්‍රිය ගත කලෙමි.. පපුවට වාවාගත නොහැකි දුකක් මා මෙන්ම ඇයත් දරනවා නොඅනු මානය.. කෙසේ හෝ ඇය මා එන තුරු මග බලා සිටිනවා ඇත.. එහෙත් කෙසේ නම් ඔබ සොයා එන්නද..?

"ඒ පසිඳුවෝ..... උඹට නින්ද ගියෙ නැද්ද..?"

"ම්ම්ම්.... නිදිමතක් නෑ බං..."

"වෙලාව කීයද..? බෙහෙත් සැරටද මන්ද නින්ද ගියා අම්බානෙකට...
ඒ උඹ ඇඬුවා නේද...? කියපන්.. අඬ අඬා ඉඳල හරියනවද බං ගිහින් එක්කන් වරෙන්...කසාද සහතිකෙ තියෙනවනේ..පොලීසියත් එක්කම පලයන්..."

"මොන පිස්සුද බං..ඒවා කරන්න හම්බ වෙන්නේ නෑ.. ගේනව නම් ගේන්න වෙන්නේ ආයෙමත් හොරෙන්....ඊට පස්සෙ ආයෙම හොයා ගනියි.. ඇයි කිව්වේ මහ ලොකු තාත්තා.. අයෙ හම්බෙලා තිබ්බොත් දුවවත් මරනවා කියලා... නම්බුව ලොකුයිලු උන්ට.. මහ ලොකු බම්බුව..."

"ෂිට්... බලපන්කො මේ ඇඳ.. කවුරු හරි දැක්කොත් හිතන්නේ මට මූත්‍රා ගියා කියලා.. මුලින් ගිහින් මූණ සෝදන් වරෙන්.. උඹෙ මූන දිහා බලන්නත් බයයි..."

වේදනා දෙන දෑස පොඩිකර ගනිමින් කාමරයෙන් එලියට ආවද එක වැර පෙනෙනා ආලෝක ධාරා දෙස බැලිය නොහැකි විය.... දෑස් පොඩි කර ගනිමින් කොරිඩෝවේ ඇවිද ගොස් මුහුණ සෝදා ගනිමින් රාජිතගේ උදෑසන ආහාරය ගැනීමට රෝහල් භූමියෙන් පිටතට පැමිණියෙමි...

මද වේලාවක් නගරයේ රැඳී සිටීමට සිදුවූයේ මීට දෙමසකුත් දින විස්සකට පෙරදී අත් හැර දැමූ පුරුද්දක් යලි සියතට ගනිමිනි.. කුඩාවට තිබූ තේ කඩයකට ගොඩ වී කහට කෝප්පයක් පානය කරමින් දුම් වැටියක්ද දල්වා ගත්තේ සිතේ වූ මානසික පීඩනය දරා ගත නොහැකි වීම නිසාමය... උන් තැනම හිඳගෙන පැය භාගයකින් දුම්වැටි හතරක් හමාර කොට යලි රෝහල වෙත පිය නැගුවෙමි...

"සර් ඒ ලෙඩා වාට්ටුවට මාරු කලා..."

රෝහල් කාමරය තුලට ඇතුල් වීමට සැරසෙද්දීම හෙදියගෙ දැනුවත් කිරීමෙන් ආපසු හැරී ඇයගෙන්ම විස්තර අසා දැනගෙන එම වාට්ටුවට පැමිණියෙමි..

"මොකෝ බං මෙච්චර වෙලා...කොහෙද ගියේ..."

"ඉඳි ආප්ප එකක් ගෙනාව බං..."

"බඩත්ගිනී... කමු එහෙනම්... ගනින්කෝ....
පොඩ්ඩන් ඉඳපන්... උඹ සිගරට් බිව්වද.."

"හ්ම්ම්.... මෙන්න ආ...කාපන්කෝ.."

"මට උඹේ දුක තේරෙනව බං.. ඒත් ඔහොම පිස්සෙක් වගේ ඉන්න එපා..."

"හරි හරි කාපන්කෝ..." රාජිතව වාට්ටුවට ගෙනවිත් තිබුනේ ඔහු හට මුහුණ අත පය සෝදා ගැනීමටද ඉඩ සලසාය..එහෙයින් ගෙන ආ කෑම පාර්සකය උණු උණුවේම කෑමට හැකි විය... කෙසේ වෙතත් ඊයේ පිටත් කර හැරි තවමත් නොපැමිනි හේතුව සිත කලබලයට තුඩු දුනි..
උදෑසන ආහාරයෙන් පසුව විවිධ පර්‍යේෂණ සඳහා රාජිතව කැඳවාගෙන යාමටද සිදු වීම නිසා උදෑසන කාර්‍ය බහුල විය.. හඳුනන වෛද්‍යවරයකු සිටීම නිසා හෙද හෙදියන්ගේ සැළකිල්ලද ඉතා හොඳින් සිදු විනි.. නැන්දා ඇතුලු පවුලේ සැම දෙනම දහවල් රෝගීන් බැලීමෙ වේලාවට පියල් සමග පැමිණි නිසා ඔවුන්ගෙ හැඬුම් තවත් සිත දවන නිසා ඔවුන්ගෙන් මිදී රෝහල් පරිසරය විඳිමින් එලියේම රැඳී සිටියෙමි..

"අයියේ..."

"ම්ම් ඇයි..."

"මං අයියගෙ පෝන් එකත් අරන් ආවා..සිම් එක නම් තිබුන් නෑ කාමරේ...මේකෙ චාජ් එක නම් නෑ.. චාජරේ ගෙනාවා.."

"ඕක රාජිත ඉන්න වෝර්ඩ් එකේ ගහන්න බැරිද මල්ලි..."

"හරි බලන්නම් අයියේ...."

"ගිහින් බලලා එන්නකො පුලුවන් නම්.. සිම් එක පර්ස් එකේ තියෙනවා.." පියල්ව පිටත් කර හරිනවාත් සමගම හෙද සේවකයෙක් පැමිණියේ වෛද්‍ය නාලක මහතාගෙ පණිවුඩයක් සමගමය... එය දැන ගැනීමට හෙද නිළධාරියා සමගම වෛද්‍යවරයාගේ පෞද්ගලික කාමරය දෙසට පියමැන්නෙමි...ප්‍රධාන වෛද්‍ය නිළධාරියා සහ පොලිස් නිළධාරියෙක් නාලක මහතාට අමතරව එම කාමරයේ මා යන විටත් රැඳී සිටියේය..

"ආ එන්න පසිඳු... මේ ඔෆිසර් තමා ඔයාලගෙ කේස් එක බාරව ඉන්නේ..."

"ඔව් කියන්න සර්..."

"පසිඳු නේද..?"

"ඔවු සර්..."

"Ok gentlemens.. Thanks.. පසිඳු අපි යන් පොඩ්ඩක් එලියට.." වෛද්‍යවරුන්ට ස්තූති කරමින් පැමිණි සිටි පොලිස් නිලධාරියා මා කැටුව රෝහල් භූමියෙන් පිටතට ආවේය..

"ම්ම් අපි මොනවා හරි බොන ගමන්ම කතා කරමු පසිඳු..."

"හරි සර්... සර්ගෙ කැමැත්තක්..."

"සර් කෑලි ඕන් නෑ මල්ලි.. මං සඳුන්ගෙ යාලුවෙක්.. සඳුන් මට යද්දි කියලා ගියේ හැමදේම.."

"ආහ්... එහෙමද..?"

"හ්ම්ම්... කේස් එක පොඩ්ඩක් දරුණුයි බං.. අහ් අර අතන හෝටලේට යන්..."

"දරුණුයි කිව්වේ අයියේ...." කුකුස දනවන හඬකින් ඔහු පැවසූ දෙයහි අරුත දැන ගැනීමට පෙරලා පැණය විමසුවත් ඔහු සංසුන් ලෙස හෝටලයට පිවිස බීම බෝතල් දෙකක් ඇණවුම් කලේය.. නිහඬව ඔහු දෙස බලා සිටියේ ඔහුගෙ මුහුණෙන් පෙනෙන ඉරියව් තරමක් බැරෑරුම් බව පෙනුනු නිසාමය.. බීම බෝතලෙයෙහි බටය ඉවත දමා බෝතලයට කට තනා උගුරක් බී යලි ඔහු කතාව පටන් ගත්තේය..

"කේස් එක ටිකක් දරුණුයි.. අපිට මොනවත්ම කරන්න බෑ.. ඉහලින් ඕඩර් ඇවිත් තියෙන්නේ මේක දැක්කේ නෑ වගේ ඉන්න කියලයි.. එහෙම තත්තවයක් උඩ මං මල්ලිව හම්බ වෙන්න ආවේ සඳුන් එක්ක තියෙන්නේ අතාරින්න බැරි සම්බන්ධයක් හින්දා.. සඳුන් මට ගොඩක් උදව් කරලා තියෙනවා.."

"හරි දැන් මොකක්ද හැරී කියන්නේ.. මාව ඇරෙස්‍ට් කරන්න කියලද..?"

"හිහ් එහෙම දෙයක් නම් මං එන් නෑ බං.. උන් කියන්නේ උඹට මොනා කලත් ඒක නොදැක්කා වගේ ඉන්න කියන එක..."

"දැන් අයියා කියන්න හදන්නේ මොකක්ද..?"

"අයෙ ඒ කෙල්ලට ලං වෙනවා කියන්නේ උඹ හිතා මතාම ගින්නකට පයිනවා කියන එකයි.. ඒ කෙල්ලට උවමනාවක් තිබ්බත් ආයෙ උඹව හම්බෙන්න ආවොත් ඒ කෙල්ලගෙත් අවසානෙ ඒක තමයි.. නම්බුව වෙනුවෙන් ඕනිම දෙයක් කරයි.."

"ඒක දන්නවා අයියේ..ඒත් මෙහෙම දෙපැත්තකට වෙලා ඉන්නවට වැඩිය එකට මැරෙන එක සැපයි.."

"එතකොට උඹේ නෑදෑයින්, උඹෙ යාලුවෝ, එතකොට අම්මා තාත්තා... කල්පනා කරපන්.. උඹට ගේම දීලා සාක්කි ඉතුරු කරයි කියලා හිතනවද..? මුලු පරම්පරාවටම කෙලවයි එක රැයෙන්.."

"මං මොනවද දැන් කරන්න ඕනි.."

"ඇත්තටම මල්ලි දැන් තියෙන තත්වෙත් එක්ක උන් මේ එන්නත් බැරි නෑ.. පරෙස්සම් වෙයන්.. රාජිත ගැන නම් දුකයි.. ඌ ඔහොම බේරිලා ඉන්නවා කියන්නේ උගෙ වාසනාව.. තවත් එහෙම දෙයක් නොවෙන්න නම් උඹ අතුරුදහන් වෙන්න ඕනි.."

"අතුරුදහන්...?"

"හ්ම්ම්... ඔවු..."

"ඒ කිව්වේ..."

"කාටවත් නොකියා මේ රටෙන් පිට වෙයන්.. අක්කා ගාවට පලයන්.. දවස් දෙකකින් හැමදේම හදලා දෙන්නම් මම.. එතකන් කාටවත් නොකියා යන්න විනාඩියක් තියලා ඔක්කොටෝම කියපන්.. රාජිතටත් එහෙම්මමයි හරිද..? වටේ පිටේ උන්ට දැනගන්න ඉඩ නොතියා ඒ අය අතරේ විතරක් මේක රහසක් විදියට තියාගනින්... ගිහිල්ලත් මෙහෙට කන්ටෑක්ස් තියාගන්න එපා..උබව හොයලා නැති වෙද්දි සේරම හරි යයි.. මේක තමා උඹට ආදරේ කරන අය බේර ගන්න තියෙන එකම ක්‍රමේ..."

"වෙන කරන්න දෙයක් නැද්ද අයියේ... මං මැරුනොත් සේරම හරියන් නැති වෙයිද..?"

"පිස්සු කතා කරන්න එපා බං... උඹ මැරුනොත් ඒ කෙල්ලට හැමෝම සාප කරයි.. ඒකට උඹ කැමතිද..? මමත් බැන්දෙ ලවු කරලා බං... දැන් දරුවො දෙන්නෙක් ඉන්නවා... ආදරේ ගැන මමත් දන්නවා මල්ලි..ඒත් දෛවයට ඕනි විදියටයි හැම දේම වෙන්නේ..."

"මං යන්නම් අයියේ.. මං යන්නම්.."

"ඒක තමයි කරන්න තියෙන හොඳම දේ... සල්ලි ගැන වද වෙන්න එපා.. සේරම මමම ඇරේන්ජ් කරන්නම්.. දවස් දෙකකින් මං එන්නම්.. මෙන්න මගෙ කාඩ් එක.. මතක ඇතිව කතා කරන්න.. හා අයෙ මතක් කරලම රාජිතව අදම ඩිස්චාජ් කරගන්න..."

"තවම හොඳ නෑනේ අයියේ..."

"හරි බං ප්‍රයිවට් එහෙක නවත්තපන්..."

"ආ හරි එහෙම කරන්නම්..."

"සල්ලි ඕනිද..? මම දෙන්නම්.."

"නෑ නෑ අයියේ මං ලඟ තියෙනවා.. තෑන්ක්ස් අයියේ මේ කරන උදව් වලට.."

"ඕක මොකක්ද බං.. මං අද සඳුන්ට කෝල් එකක් දෙන්නම්... බය වෙන්න එපා මේ කරදර ගැන කියන්නෙ නෑ උඹ යනකන්..."

"හරි අයියේ..තෑන්ක්ස්..."

"හරි එහෙනම් මම යනවා.. පරිස්සමින් ඉන්න.. කිව්ව විදියට වැඩ කරන්න..."

•••••••••••••••••••••••••••••••••••••••
බලා රස විඳි සැමට තුති...යලිත් ඊළඟ
කොටසින් මුණ ගැසෙමු..
•••••••••••••••••••••••••••••••••••••••


No comments: